|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 16 ||
අද දවස හරිම වෙනස් පාව්කා. උදේ ඉර පායලා තියනවා දකින්නවත් මගේ හිතේ කිසි කැමැත්තක් නෑ. මට මහා උදාසීන කමක් දැනෙනවා. මේ හැමදේටම හේතුව මම දන්නවා උනාට ඒක එහෙම නෙවෙයි කියලා මටම ඒත්තු ගන්නන්න මම උත්සාහ කරනවා. අදින් පස්සේ මොන දෙයක් වෙයිද කියන එක මමවත් දන්නේ නෑ. සාෂාට ඉතුරු වෙලා තියෙන අන්තිම දවස අදයි. අද ඈ ආපහු යන්න නැව් නගින්න ඕන. ඈට නවතින්න බොහොම ඕනෑකමක් තිබුනත් අද නම් ඈ යා යුතුමයි. ඈට මේ දිනපොතවත් අරන් යන්න අවසර නෑ පාවෙල්. අදින් පස්සෙ මේ දිනපොතේ ඉතුරු ඔක්කොම පිටු ටික හිස් පිටු වේවි. කවදා හරි දවසක සාෂෙන්කාට උත්තරයක් හොයාගන්න පුළුවන් කමක් තිබුනොත් විතරක් තව පිටු කිහිපයක් පිරවේවි. මට සමාවෙන්න පව්ලූෂා !!! දැනුවත්ව හෝ නොදැනුවත්ව පුංචිම පුංචි හරි වරදක් උනා නම් සාෂාට සමාවෙන්න !!
නුඹ බොහොම විශේෂයි පව්ලූෂා !! පුන පුනා ඒ දේ කියන්න ඕන නැති උනත්, අවසාන දිගහැරුමේ පුංචි හරි අඩුවක් තියන්න ඕන නෑ කියලයි මට හිතෙන්නේ.
නුඹේ නිල් පාට කොටු වැටුණු කමිසයත්, බැලලයිකාවත්, බැලලයිකාව දිගේ කඩිසරව එහෙ මෙහෙ දුවන නුඹේ දිගු ඇඟිලිත්, නුඹේ හිනාවත් - මේ ඔක්කොම දේවල් හරිම ලස්සනට පාට කරලා තියන චිත්‍රයක් කිසිම කෙනෙකුට නොපෙනෙන්න මගේ හිතේ තියනවා. ඒ චිත්‍රය විතරක් මම අරන් යනවා පාව්කා !! ඒ මගේ ආදරණිය යමහල !! කොපමණ උත්සාහ කළත් ඒ සිතුවම තියලා මට ආපහු යන්න බෑ . නුඹට කල්පනා කරන්න හිතුනම තවමත් කොණ්ඩය කරකවනවාද පාව්කා ?? අහස පොලව ගැටගහන්න වගේ කල්පනා කරන වෙලාවට නුඹ තවමත් එහෙම කරනවා ඇති කියලා මට හිතෙනවා. මොන දේ අමතක කරත් බැලලයිකාව අමතක කරන්න එපා !! කවදාවත්ම එපා !! දැන් නම් මට හිතෙන්නේ නුඹව කළු අසරුවාගෙන් ගලවාගන්න පුළුවන් එකම දේ බැලලයිකාව කියලමයි.
පොප්ලර් ගස් පේළියට වගේම පුංචි පොකුණටත් මට වගේම නුඹ නැති පාළුව හොඳින්ම දැනෙනවා ඇති පාව්කා. නුඹෙන් නාහා ගිලගත්තු ප්‍රශ්න තාමත් එහෙමමයි. ඒවාට උත්තර හොයන්න දැන් මම පරක්කු වැඩියි. කාලය බොහොම වේගයෙන් ගතවෙනවා පාව්කා. සාෂාට යන්න වෙලාව ඇවිත්. සමහරවිට මට නුඹව දකින්න ආයෙ කවදාවත්ම එන්න නොලැබේවි, එත් පව්ලූෂා නුඹ හැමදාමත් මගේ ආදරණිය යමහල බව අමතක කරන්න එපා. සාෂාගේ පන්හිඳට නිමිත්ත නුඹම වේවි. ඇගේ වැයුම් ඔබ ගැනම කියාවි. නුඹට හැකිනම් පමණක් ඈ පිටව යන්නට කලින් ඈ වඩාත්ම ආසා කළ වැයුම වයන්න පාව්කා !! එකම එක සැරයක් ඈ බොහොම ආසා කළ හිනාව දකින්නට ඈට ඉඩදෙන්න. සමුගන්නම් මම ,නුඹට ආයුබෝවන් පව්ලූෂා මිකායෙව් !!!
"මෂූර්කා නැටුමට හෙට - නුඹ එනවා ද
බැලලයිකාව වයන්නම් මම තාලෙට
මාෂා නුඹ හෙට එනවාද ??
මෂූර්කාව හෙටයි - නුඹ රඟනවා ද "
~සාෂෙන්කා වැන්යුෂින්~
-සමාප්තයි-