||| තනි තරුව |||
ඊයේ පෝයට පෑයු හඳ මට - තවම රවුමට පෙනෙනවා
තවම පෝයද හිතෙන තරමට - පිරී ඈතින් දිලෙනවා
පිපුණු කඩුපුල් සුවඳ සුළඟට - නැවුම් රස මුසු කරනවා
ඉවත ගනු බැරි මගේ නෙත් නුබ - ගැබ පුරා සැරිසරනවා
කිරි පැණිත් ඉල්ලා නුඹෙන් මම - හැඬු කාලය මැවෙනවා
නුඹේ හාවා බලෙන් ඉල්ලා - ගන්න ගිය හැටි හිතෙනවා
ලස්සනට නැමි පනාවක් වගෙ - ඉන්නේ කොහොමද හිතනවා
මාසෙ පෝයක් ආපු දවසට - මම අඬපු වග දන්නවා
පුංචි දරුවෙක් කාලෙ මට නුඹ - පෙනුනෙ හඳ මාමෙක් වගෙයි
දැන් පෙනෙන්නේ කිරුළු පැළඳු - තරුණ අග රැජිණක් වගෙයි
නුඹේ අසලින් පායනා තනි - තරුව දැන් මට විශේෂයි
නුඹට කවි ලී මගේ පන්හිඳ - දැන් ලියන්නේ තරුවටයි
වෙනදාට නුඹ නාවාම එන - කඳුළු දැන් හිමි තරුවටයි
ඒත් ඒ දුක අහන් ඉන්නේ - නුඹයි සුපුරුදු තනිකමයි
පෝය දා නා තනි තරුව මට - මතක් කෙරුවේ නුඹ තමයි
මෙතෙක් නොලියූ කවිය ලීවේ - ඒ නිසාවෙන් නුඹටමයි
~අමා~
No comments:
Post a Comment