Friday, February 24, 2017

||| සිහිවටන |||


විසිකරපු කොල ගුලිද
සිහිවටන වෙයි නුඹට
යළි ආයෙ නේන්නම
මම යන්න ගිය දාට.

දිගහැරිය නොහී නුඹ
ඉරාගත් කඩදහිය
මතක සැමරුම් අතර
සැතපේවි එදවසට.

තින්ත බිඳු රටාවට
පෙලගහපු කතාවට
තේරුමක් දෙන්න නුඹ
වෙහෙසේවි තව තවද.

පිටු අස්සෙ හැංගිලා
තවත් ඇති සිහිවටන
නුඹට නොපෙනෙන ලෙසට
අහුරලා දාර දිග.

ගයන්නට නුඹට මට
පමණක්ම ඇහෙන්නට
ලියූ ගී තවත් ඇති
ලාච්චුවෙ එක කොනක

මං අරන් යන්න ගිය
ගීතයේ මුල් තනුව
වයන්නම් හැමදාම
පුර හඳට ඇහෙන්නට.

මට අහිමි පුරහඳට
පමණක්ම ඇහෙන්නට.
නුඹට හිමි මට අහිමි
පුරහඳට ඇහෙන්නට.

~අමා~

 

 

||| නැවත නොඑමි |||


සොහොන් බිමට එපා එන්න
මල් මිටියක් අතින් අරන්
බෑ මට ඒ මල් ගන්නට
අත දිග නෑ මගෙ එතරම්

යන්න කලින් දල්වන්නේ
සුදු ඉටිපන්දම් වැටියක්
නුඹ දන්නා නිසාවත්ද
බය වග කළුවරට මමත්

නොයා යන්න නිවෙස කරා
ඇයි තව ඉන්නේ තනියෙන්
රෑ කළුවර වැටුනෝතින්
තනිය දැනෙයි නුඹට තවත්

ගැටිය උඩින් වාඩි වෙලා
මුමුණන ඔය වදන් පෙලත්
කියන්න තිබුණා නොවේද
යන්න කලින් මම තනියෙන්

මට ඇහෙනවා ඇතියි කියා
හිතෙනවාද නුඹට තවත්?
ඇහුනත් මට කියාගන්න
බැරි කමටයි නිහඬ මමත්

යන්න කලින් නාවෙ ඇයිද
ඇහුවෙම නෑ කවදාවත්
ඇයි නුඹ උත්තර දෙන්නේ
නෑ කහටක් මගේ හිතෙත්

ගිහින් බොහොම කල් ගෙවුනත්
වෙනසක් නම් නෑ තාමත්
මහද පිරුණු මායා දිය
තවත් තිබේ නොවී වෙනස්

ආයෙම මෙහි එන්න එපා
මං බලන්න මලුත් අරන්
බය නෑ කළුවරට තවත්
ඉන්නට පුළුවනි තනියෙන්

කියන්න බැරි උන බෝ දේ
ලියා තියා පරිස්සමට
ඇති මගෙ අල්මාරියෙ වම්
පැත්තේ රෙදි ගොඩට යටින්

අරන් යන්න පුළුවනි නම්
ගෙනිහින් කියවා බලන්න
ආයෙම මෙහි එන්න එපා
මට කියන්න නුඹේ සිතුම්

අහන්න මට ඕනෙම නෑ
කියන්න ඕනෙම හිතුනත්
හිතාන හිටි විදිය හොඳයි
රිදුනෙම නෑ කවදාවත්


~අමා~