Wednesday, September 28, 2016

||| ඉර නැගුම |||


ඉර නැගෙනු බලන්නට - සිත සිතා සිටි මෙමට
ඉඟි කලෙන් කලින් දා  - නින්ද විත් නෙතු අගට
නැගෙන්නට මත්තෙන්ම  - සඳ තරුද රෑ නුබට
පාවුනා වළාකුල්  - ගැවසිගත් හීනයක 

වළාකුළු මත ඉඳන් - අත වනා සමුගන්න
හැමෝටම ආදරෙන්  - හාදු වැහි වස්සන්න
පුංචි තරු දිලි දිලී  - දිලිසුනා ලස්සනට
නිවි නිවී සැලි සැලී  - පහන් සිළු වගේ සොඳ

අමතකයි දකින්නට  - ආව වග ඉර එළිය
නැවතිලා අතරමග  - විඳින්නට සඳ එළිය
කිමිදිලා ගැඹුරටම  - සඳ දියේ තරු ගිලුන 
සොයනවා මම තවම  - තනි තරුව ගිලිහිච්ච

පිබිදිලා හීනයෙන්  - වෙලාවක ගිනිගත්ත
හොයනවා ඉර එලිය  - දැකගන්න බැරුව ගිය
ගිනියමින් පිච්චිලා - අළුවෙලා වැටෙනකොට
හැඟෙනවා නුඹම බව  - මගහැරුණු ඉර එළිය

~අමා~







Monday, September 26, 2016

||| හෙවණ |||


සමහර දාට එක පාරටම, කිසිම පෙර නිමිත්තක් නැතුවම  වැහි බිමට කඩාගෙන හැලෙනකොට හිතට දැනෙන්නේ හරිම සැහැල්ලුවක්. ගිනියමට පිච්චිලා අළුවෙන්න ඔන්න මෙන්න ඉන්න මනුස්සයෙකුට එහෙම හදිස්සියෙ වැටෙන වැස්සක් කියන්නේ දිව ඔසුවක්. ඒත් තව පොඩ්ඩක් කල්පනා කරලා බැලුවාම හිතෙනවා නොකියාම අවේලාවේ එන ප්‍රශ්නත් හරියට එක පාර වැටෙන වැහි වගේ කියලා. පුංචි වෙනස්කම් තිබුනට මේ දෙක හොඳටම සමානයි කියලයි මට හිතෙන්නේ. වැස්සක් නම් වැහැල ඉවරවෙයි. ඒත් ප්‍රශ්න එහෙම නෑ. විසඳුමක් ලැබෙනකන්ම එක දිගටම වද දෙනවා.

කොහොමින් කොහොම හරි වැස්සක් වැටෙනකන් බලාගෙන ඉන්න සමහර දාට වැහි වෙනුවට වැටෙන්නේ හිතුවෙවත් නැති ප්‍රශ්න. ඒක හරියට අඬන්න ඉන්න මනුස්සයට ඇහැට ඇඟිල්ලෙන් අනින්න වගේ වැඩක් ඒ. එදාට වැහි වහින්නේ කම්මුල් දිගේ. අහස කළු වෙනවා වෙනුවට ඇස් රතු වෙනවා. වේගෙන් හුළං හමනවා වෙනුවට වේගෙන් හුස්ම වැටෙනවා. වැහි බිංදු වෙනුවට කඳුළු බිංදු වැටෙනවා. තද ගෙරවුමක් වෙනුවට සියුම් ඉකි බිඳුමක් ඇහෙනවා. අහසේ විදුලි එළි වෙනුවට හිත පසාරු  කරගෙන කිණිසි හිත පතුලට කිඳා බහිනවා. මේ හැම දෙයක්ම අස්සේ හිත තැලෙනවා. පොඩිවෙනවා. 


දවසෙන් දෙකෙන් පායන වැහි වගේම මුළු ජිවිත කාලෙම වැටෙන වැහිත් තියනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. ඒත් මේ හැම වැස්සක් එක්කම පොඩි හරි බලාපොරොත්තුවක් හිතට රිංගන්නේ අපිටත් නොදැනීමයි. ඒ බලාපොරොත්තුව හරියට හුළඟට හෙලවෙන ඉටිපන්දම් දැල්ලක් වගේ. එළිය දෙනවා තමයි. ඒත් කොයි වෙලාවේ නිවිලා යාවිද කියන්න බෑ . කිසිම දෙයක් ගැන විශ්වාසයක් තියන්න බැරිම තැනට හිත ඇවිදගෙන ඇවිල්ලා. වැස්සට තෙමිලා තෙතබරිත වෙලා. ඒත් නැවතෙන්න නිස්කලංකයක් නෑ. හෙවණක් හොයාගෙන ඇවිදගෙන යන්න වෙලා. 

නොකිව්වට අපි හැමෝම කරන්නේ අපිට නොතෙමි ඉන්න පුළුවන් හෙවණක් හොයාගන්න මහන්සි වෙන එක තමයි. ටිකක් කල්පනා කරලා බැලුවාම හිතෙයි ඇත්තටම අපි හැමෝම හැමදාම පොඩි හරි වැස්සක තෙමෙනවා නේද කියලා. වැස්සෙන් බේරෙන්න තියන එකම ක්‍රමේ සසර කෙටි කරගන්න එක උනාට ඒ දේ කරන්නවත් අපේ හිත් නතු කරගන්න බැරි තරමටම අපේ හිත් වලට විස කාවැදිලා. හෙවණක් හොයාගෙන යන ගමන්,මම


~අමා~

 

 

Monday, September 19, 2016

|| පරණ පොත් ||


මම කුඩා දැරියක්මි. තරමක් කොටට කැපූ ඉත්තෑකූරු කොණ්ඩයෙන් මදක් නළලට වැටෙයි. රතුපාට රැළි ගවුමක් ඇඟලාගෙන සාලයේ බිම වාඩිවී සුපුරුදු පරිදි මම කතන්දර පොත් කියවමි. සාලයේ බිම එලූ පැදුරක වාඩිවී පොත් කියවීම මට ප්‍රීතියකි. ඇඳෙහි දිගාවී පොත් කියවීම මට ඊටත් වඩා ප්‍රීතියකි.

"ළමයෝ, ඔය ඇස් දෙක වපර වෙයි !! පුටුවක වාඩි වෙලා ඕක කියවන්න" ඒ අම්මාගේ කට හඬයි.

"අනේ අම්මේ !!"

මගේ කෙඳිරිය අම්මාට වදයක් බව මම දනිමි. ඒත් ඈ ඇගේ තීරණය වෙනස් නොකරන්නීය. අවසානයේ මම සාලයේ සෝපාවේ දිගාවී පොත කියවමි. අම්මාට එයද මදි වී ඇය නැවතත් හඬ අවදි කරන්නේ මා කෙසේ හෝ පුටුවක වාඩි කරවීමට බව මම දනිමි. එහෙත් හැමදාමත් මා පොත කියවා අවසන් කරන්නේ මා කැමති පරිදිය. විටින් විට පුටුවක වාඩිවෙන නමුත් දිගටම ඒ ඉරියව්වේ රැඳීම මට අපහසුවකි. මම නැවතත් ඇඳෙහි දිගාවෙමි. පොත කියවා නිම කරන තෙක් මට විවේකයක් නොවන්නේ නම්, එය මා කැමතිම වර්ගයේ පොතක් බව අම්මා දනී. එවන් දවසක නම් මට බාධා කිරීම් සිදුනොවන තරම්ය. කාලය ගෙවී ගියේ පුදුමාකාර වේගයකින් බව මට සිතෙයි. රතු පාට රැළි ගවුමක් වෙනුවට දැන් ඇඟලා ගන්නේ ටී ෂර්ට් එකක් සහ දනිස තෙක් කලිසමකි.

"කාලය මැවූ වෙනසක අරුමේ !!"

දැන් කියවන්නේ සුරංගනා කතා හෝ වැඩබැරි දාසගේ කතා නොව, ඊට වඩා ගැඹුරු තේරුම් ඇති පත පොතය. කුඩා දැරියක ලෙස මමා වඩාත් ප්‍රිය කළේ "සමන්මලී", "හත්පණ","පාළුව","උඩ ගිය බබා","ලස්ස්සන වසිලීස්සා","මැටි කෝප්පය", එන්. රැඩ්ලොව්ගේ "පින්තූර කතා" වැනි පොත් කියවීමටයි. මට සෑම උපන්දිනයකටම පාහේ ලැබුණේ පොත්ය. කවුරුන් හෝ මගෙන් ඇසුවද මා කීවේ මට "පොත්" ඕනෑ බවයි. මම එතරම් පොත් වලට කෑදර දරුවෙකු වීමි.
මට මුලින්ම "මඩොල්දූව" පොත ලැබෙන්නේ 2001.09.24 දිනය. එදා එක හුස්මට මඩොල්දූව කියවූ මට එතැන් පටන් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොත් කියවීමට දැඩි ආශාවක් ඉපදුණි. ඒ උපන් ආශාව නිසා "අපේ ගම" කෘතිය කියැවීමි.තරමක් වයසකදී "යුගාන්තය", "ගම්පෙරළිය", "කලියුගය", "බවතරණය", "කරුවල ගෙදර", "ලීලා" ද කියැවීමි. සමහර කතාවල තේරුමක් හිතාගැනීමට මට අපහසු වුන නමුත් මම තවදුරටත් කියැවීමේ නියැලුනා මිසක් නොනැවතීමි. එතෙකින්ද  නොනැවතී ටී.බී.ඉලංගරත්නයන්ගේ "හපනා","අඹ යහළුවෝ","තිලක හා තිලකා", "සැඩපහර", "මල්සරාව", "ශිෂ්‍යත්වය" ඇතුළු තවත් පොත් ගොන්නක්ද කියවා ඉවර කලෙමි.

දැන් මම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්මි. වෙනදා මෙන් බොහෝ පොත් කියැවීමට මට වෙලාවක් නොලැබෙන නමුත් විටින් විට දුම්රියේ ගමන් කරන අතරතුර පොත් කියවීමට මම වෙලාව සොයා ගනිමි. වෙනදා මෙන් නැතත් මම ඉඩ ලද විගස අලුත් පොතක් සොයාගෙන කියවමි. දැන් පොත් මිලට ගන්නේ කලාතුරකින් නමුත් මගේ පොත් රාක්කය පිරී ගොසින්ය. වැඩ බැරිදාසලා , ඩෙනිස්ලා මෙන්ම නන්දා - පියල් , අරවින්ද , නිමල් , ජින්නා , උපාලි ගිනිවැල්ලේ මෙන්ම පාවෙල් , සාෂෙන්කා , තෝන්යා ද ජිවත් වෙන්නේ එකම පොත් රාක්කයකය. ඒ පොත් රාක්කයේ මුළු ලෝකයම ජීවත් වන්නාක් මෙනි.

"අම්මේ"

"ඇයි ??"

"අර පොත් රාක්කෙ...."

"ඔව් ඉතින්, මොකද ඒකට වෙලා තියෙන්නේ ?"

"ඒකෙ දැන් ඉඩ මදියි අම්මේ. පොත් තියල තියෙන විදියට පොත් ගන්න ගියාම හරි කරදරෙයි"

"මේ හදිස්සියේ පොත් රාක්කයක් ගේන්න බෑනේ දරුවෝ. පරණ පොත් ටික ඇතුලට දාල අලුත් පොත් ටික තියන්න"

"අනේ අම්මේ"

මගේ හදවත කඩාගෙන වැටුනාක් මෙන්ය. මම අලුත් පොත් වලට වඩා පරණ පොත් වලට ආශා කලෙමි. මහ පෙට්ටියේ බැහැගෙන මාතර ගෙදරදී ද මම කළේ කාවෙක් මෙන් පරණ පොත් සොයාගෙන ඒවා ගෙදර ගෙනවිත් නැවත සැකසීමයි. අම්මා පරණ පොත් යනුවෙන් අදහස් කළේ ඒවාද නැතහොත් මම කුඩා දැරියක් කාලයේ ආශාවෙන් කියැවූ පොත් ද යන්න මම නොදනිමි.

"පරණ පොත් කිව්වේ අර මම පොඩි කාලේ කියවපු ඒවද ??" දැඩි නිහඬතාවයකින් පසු මම ඇසීමි.

"ඔව් , දෝණි ආයේ ඒවා කියවන්නේ නෑ නේ ?"

"අනේ අම්මේ මම ඒවාට ආසයි නේ. ඒවා ඔහොම තිබුණාවේ. ඒවා මට පේන්න හරි තියෙන්න ඕන" මගේ දෑස් කඳුලින් බරවීම මට මෙන්ම අම්මාටද පුදුමයක් බව මට තේරුම් ගැනීමට ගතවුනේ ඉතා කෙටි කාලයක්. බාගවිට මම එතරම්ම පරණ පොත් වලට් ඇලුම් කළා යැයි ඈ නොසිතන්න ඇති.

"එහෙනම් කැමැත්තක් කරන්න"

මම පරණ පොත් වලට මෙතරම්ම ආදරේ මන්දැයි මම නොදනිමි. පොත් නම් මට හැම පොතම එක වගේ වටිනා බව මම කලින් සිතා සිටියෙමි. එහෙත් දැන් ඇතිවී තිබෙන්නේ හාත්පසින්ම වෙනස් තත්වයකි. අලුත් පොත් වෙනුවෙන් පරණ පොත් බිලි දෙන්නට මගේ හිත ඉඩ නොදෙන හැටි !! මම පරණ පොත් සමග පුදුමාකාර ආදරයකින් බැඳී සිටිමි. පරණ පොත් දැකීමෙන් මට එකී කතා මතක් වෙන බවත් ඒ බොහෝ ඒවා මට කට පාඩම් බවත් මම දනිමි. පරණ පොත් අලුත් පොත් වලට වඩා අගෙයි මට !! ජිවිතේ සොඳුරුතම මතකයන් ඇලී තිබෙන්නේ ඒ පොත් සමග බව මම තදින්ම විශ්වාස කරමි. මට අකුරු කියවීමට බැරි කාලයේ අම්මාත් තාත්තාත් මට ඒ පොත් කියා දුන්නේ අපමණ ආදරයකින් බව මට මතකයි. ඒ ආදරය තවමත් ඒ පොත් සමගම සුරක්ෂිතව තිබෙන බව මට හිතීම අරුමයක් නොවෙයි. ඒ නිසාම මම ඒ පොත් වලට බොහොම ආදරෙයි.

ඊයේ පෙරේදා හඳුනාගත් "බබා හේනයාටත්" , "අපූ" ටත් මගේ පොත් රාක්කයේ ඉඩක් නැත. මට වැඩබැරි දාස හෝ උඩගිය බබා එළවා ගන්නට හිතක් නැතිය. උපාලි ගිනිවැල්ලේ ද, ජින්නාද  එසේමය. ඔවුන් කුඩා මගේ ලෝකයේ වීරයින්ය. එනිසා අලුත් ජීවිත වලට අලුත් ලෝකයක් ගොඩ නැගුනාවේ. පරණ ලෝකයේ මම ඩෙනිස්ලාත් , කිරිහාමිලාත් ,පව්ලූෂාලාත් සමග සතුටින් ජිවත් වෙමි. හැමදාමත් පරණ පොත් මට අලුත් පොත් වලට වඩා අගෙයි !! ඒවායේ සුවඳ විශේෂයි. ඒවායින් හමන්නේ ප්‍රීතිමත් අතීත සුවඳයි.

~නවීනා~

 

 

Friday, September 16, 2016

 ||| තීන්ත පැල්ලම |||


"නුඹ මගේ තීන්ත කූඩුව කුඩු කළ බව මම දනිමි. එසේ කළේ ඇයි දැයි මම නුඹෙන් නොවිමසමි. මට අළුත් තීන්ත කූඩුවක් මිලදී ගත හැකි නමුත් මම එසේද නොකරමි. තවමත් පෑනේ ඉතිරි වී ඇති තීන්ත වලින් මම තවදුරටත් සටහන් තබමි. සෝදා පිරිසිදු කළද ගෙබිම මත තවමත් මට තීන්ත පැල්ලම දැක ගත හැකිය. නුඹ තීන්ත කූඩුව කුඩු කිරීම පිළිබඳව මගේ හිතේ ඇත්තේ නොපහන් හැඟීමකට වඩා වඩාත් අපැහැදිලි, තෝරා ගත නොහැකි අමුතු හැඟීමකි. එය කුහුලක්ද නැතහොත් ශෝකයක්ද යන්න තෝරාගැනීම මට අපහසු කරුණකි. කෙසේ නමුත් මට තවමත් පලා යාමට සිතක් නැත්තේය. ඉතිරිව ඇති තීන්ත වලට කුමක් කරන්නේ දැයි තවමත් මට ගැටළුවකි. ඉන් සටහන් විය යුත්තේ නුඹටත් මටත් වැදගත් යමකි. එසේ ප්‍රවේශමෙන් තෝරාගත් වස්තු බීජයක් තවමත් මම නොලදිමි. එතෙක්  මම සටහනක් නොතබමි. මීට කලකට ඉහතදී සටහන් ගොන්නක් කාගේදෝ උවමනාවට දවා අළු කළේද නුඹම බව මම දනිමි. එහෙත් නුඹට මම වෛර නොකරමි. ඒ අළුද මේ පැල්ලමද මට බොහොම දේ ඉගැන්විය. වෙන කිසිම කලකටත් වඩා මම දැන් ප්‍රීති වෙමි. ඒ අන් කවර හේතුවක්වත් නිසා නොව, මෙතෙක් කල් නොදුටු බොහෝ දේ එකම එක  තීන්ත පැල්ලමක් තුලින් දැකීමට හැකිවීම  නිසාය."


~අමා~