Friday, February 24, 2017

||| සිහිවටන |||


විසිකරපු කොල ගුලිද
සිහිවටන වෙයි නුඹට
යළි ආයෙ නේන්නම
මම යන්න ගිය දාට.

දිගහැරිය නොහී නුඹ
ඉරාගත් කඩදහිය
මතක සැමරුම් අතර
සැතපේවි එදවසට.

තින්ත බිඳු රටාවට
පෙලගහපු කතාවට
තේරුමක් දෙන්න නුඹ
වෙහෙසේවි තව තවද.

පිටු අස්සෙ හැංගිලා
තවත් ඇති සිහිවටන
නුඹට නොපෙනෙන ලෙසට
අහුරලා දාර දිග.

ගයන්නට නුඹට මට
පමණක්ම ඇහෙන්නට
ලියූ ගී තවත් ඇති
ලාච්චුවෙ එක කොනක

මං අරන් යන්න ගිය
ගීතයේ මුල් තනුව
වයන්නම් හැමදාම
පුර හඳට ඇහෙන්නට.

මට අහිමි පුරහඳට
පමණක්ම ඇහෙන්නට.
නුඹට හිමි මට අහිමි
පුරහඳට ඇහෙන්නට.

~අමා~

 

 

No comments:

Post a Comment