Sunday, October 30, 2016

||| දේදුණු ||| 


සත් පාට දේදුණු විතරමද ලස්සන ?
රන් තැඹිලි කඩන කොල්ලෙක්
නිල්ම නිල් ඉබ්බෙක් දකින
සත් පාට දේදුණු විතරමද ලස්සන ?
හැකිද සිව් වර්ණ දේදුන්නකට පායන්න
එකම අහසක එකම පැත්තෙන්
පුදුමයෙන් ඉපිලිලා බලාගෙන ඒ දෙසම
නොකියාද "අර බලන්! අමුතු දේදුන්නක්"



~අමා~

 

 

 ||| තනි තරුව |||


ඊයේ පෝයට පෑයු හඳ මට - තවම රවුමට පෙනෙනවා
තවම පෝයද හිතෙන තරමට - පිරී ඈතින් දිලෙනවා
පිපුණු කඩුපුල් සුවඳ සුළඟට - නැවුම් රස මුසු කරනවා
ඉවත ගනු බැරි මගේ නෙත් නුබ - ගැබ පුරා සැරිසරනවා

කිරි පැණිත් ඉල්ලා නුඹෙන් මම - හැඬු කාලය මැවෙනවා
නුඹේ හාවා බලෙන් ඉල්ලා  - ගන්න  ගිය හැටි හිතෙනවා
ලස්සනට නැමි පනාවක් වගෙ - ඉන්නේ කොහොමද හිතනවා
මාසෙ පෝයක් ආපු දවසට  - මම අඬපු වග දන්නවා

පුංචි දරුවෙක් කාලෙ මට නුඹ - පෙනුනෙ හඳ මාමෙක් වගෙයි
දැන් පෙනෙන්නේ කිරුළු පැළඳු - තරුණ අග රැජිණක් වගෙයි
නුඹේ අසලින් පායනා තනි  - තරුව දැන් මට විශේෂයි
නුඹට කවි ලී මගේ පන්හිඳ - දැන් ලියන්නේ තරුවටයි

වෙනදාට නුඹ නාවාම එන - කඳුළු දැන් හිමි තරුවටයි
ඒත් ඒ දුක අහන් ඉන්නේ - නුඹයි සුපුරුදු තනිකමයි
පෝය දා නා තනි තරුව මට - මතක් කෙරුවේ නුඹ තමයි
මෙතෙක් නොලියූ කවිය ලීවේ - ඒ නිසාවෙන් නුඹටමයි

~අමා~ 


 

Monday, October 10, 2016

|||  නුඹට ලියමි |||

එකෝමත් එක දාක දුටු හීනයක
මට මාව නොපෙනුනාට
වැඩි එළිය නැති
ඒ හීනෙම කොනක
හීනියට නුඹව පෙනුනා

එකෝමත් එක දාක ලියු කවක
මගේ වග නැතත්
හැම පදයක් ගානෙම
අඩුවක් පාඩුවක් නැතුව
නුඹ ගැනම ලියැවිලා තිබුණා

එකෝමත් එක දාක රෑ අහසක
කළු වලාකුල් බොහොම
අමාවක පොහොයක
එකම තරුවයි අහසට
ඒ තරුව නුඹ නේද සිතුනා

එකෝමත් එක තවත් දවසක
මට නුඹව නොපෙනෙන
නුඹට මම නොපෙනෙන
එදා රෑ ලියූ කවියෙ පද
මට මගේ නොවෙයි හිතුනා

~අමා~

 

 

Sunday, October 9, 2016

||| සෙල්ලම  |||


කළු සුදු කොටු වැටුණ
චෙස් ලෑල්ලක අයිතිකරු නුඹ
සෙල්ලමක් තරමටම
හැමදේම වෙනස් වෙලා අද
එහෙට මෙහෙට ඇවිදින
සුදු කළු අමුතු ඉත්තො ගොඩක
අතරමං වෙලා මම
ඔව්.......නුඹ දිනනවා සෙල්ලම

මම පැරදිලා වැටෙනකොට
රෑ වෙලා හොඳටෝම 
බලාගෙනයි හිටියෙ මම
හිනාවෙනවා උන් හැමෝම මට
වෙන අතක වෙනුවට හැරුනාම 
නුඹේ ඇස් දිහාවට
පෙනුනේම හිස් කමක් විතරමයි
පතුල පෙනෙන ගැඹුරටම

රිදුනෙ මට විතරමද
අතරමං වෙලා කොටු සෙල්ලමක
යන්න කොටුවක් නැතිද
වටපිටක පැත්තක ඉතුරුව
ඉඩක් නෑ නුඹෙන් මට
පලා යන්නට පුවරුවෙන් පිට
පන්න පන්නා පහර දෙන්නෙම
දිනුම නුඹටම ඕන හන්දද

ධවල පිලි හැඳි රැජිණකව හිඳ
ආදරෙන් නුඹෙ කාල පැහැයට
යුධ වැදුම වී ගියා අමතක
ගිලිහුනා මා දැරූ සිහසුන
අවනතව හදවතට මුලසුන
දුන්න වරදට මෙයද දඬුවම
සුනු විසුනු කර ධවල බල ගෙන 
යනවාද නුඹ මගේ පණ සිඳ

~අමා~

 

 


Tuesday, October 4, 2016

||| අරලියා |||


සුදු පාට පෙති පහක
ගුලිවෙච්ච සුවඳ මට
දැනෙන්නේ පෝයදා
පන්සලේ සුවඳ සේ
ගහ යටම බිම වැටුණ
ඒත් තව හිනාවෙන
අරලියා මලේ නුඹ
පිණි දැකලා නෑ වගේ

පෝයදා වට්ටියක
ලස්සනට ඇහිරිලා
පන්සලට නුඹ යන්නෙ
විශාඛාවක් වගේ
ඒ සුවඳ පරදන්න
නුඹේ තැන අරගන්න
රෝස පෙති බැලුවාට
එමල් හැඩ මදි වගේ

සමනල්ලු රෝස මල්
වටකරන් හිටියාවෙ
නුඹේ ඔය ධවල වත
නොකිලිටිව තිබුනාවෙ
මිහිරිතම සුවඳ නුඹ
සුළඟටම දුන්නාවෙ
නුඹ දිහා බලන් තව
උවැසියෝ පිපුනාවෙ   



~අමා~




Wednesday, September 28, 2016

||| ඉර නැගුම |||


ඉර නැගෙනු බලන්නට - සිත සිතා සිටි මෙමට
ඉඟි කලෙන් කලින් දා  - නින්ද විත් නෙතු අගට
නැගෙන්නට මත්තෙන්ම  - සඳ තරුද රෑ නුබට
පාවුනා වළාකුල්  - ගැවසිගත් හීනයක 

වළාකුළු මත ඉඳන් - අත වනා සමුගන්න
හැමෝටම ආදරෙන්  - හාදු වැහි වස්සන්න
පුංචි තරු දිලි දිලී  - දිලිසුනා ලස්සනට
නිවි නිවී සැලි සැලී  - පහන් සිළු වගේ සොඳ

අමතකයි දකින්නට  - ආව වග ඉර එළිය
නැවතිලා අතරමග  - විඳින්නට සඳ එළිය
කිමිදිලා ගැඹුරටම  - සඳ දියේ තරු ගිලුන 
සොයනවා මම තවම  - තනි තරුව ගිලිහිච්ච

පිබිදිලා හීනයෙන්  - වෙලාවක ගිනිගත්ත
හොයනවා ඉර එලිය  - දැකගන්න බැරුව ගිය
ගිනියමින් පිච්චිලා - අළුවෙලා වැටෙනකොට
හැඟෙනවා නුඹම බව  - මගහැරුණු ඉර එළිය

~අමා~







Monday, September 26, 2016

||| හෙවණ |||


සමහර දාට එක පාරටම, කිසිම පෙර නිමිත්තක් නැතුවම  වැහි බිමට කඩාගෙන හැලෙනකොට හිතට දැනෙන්නේ හරිම සැහැල්ලුවක්. ගිනියමට පිච්චිලා අළුවෙන්න ඔන්න මෙන්න ඉන්න මනුස්සයෙකුට එහෙම හදිස්සියෙ වැටෙන වැස්සක් කියන්නේ දිව ඔසුවක්. ඒත් තව පොඩ්ඩක් කල්පනා කරලා බැලුවාම හිතෙනවා නොකියාම අවේලාවේ එන ප්‍රශ්නත් හරියට එක පාර වැටෙන වැහි වගේ කියලා. පුංචි වෙනස්කම් තිබුනට මේ දෙක හොඳටම සමානයි කියලයි මට හිතෙන්නේ. වැස්සක් නම් වැහැල ඉවරවෙයි. ඒත් ප්‍රශ්න එහෙම නෑ. විසඳුමක් ලැබෙනකන්ම එක දිගටම වද දෙනවා.

කොහොමින් කොහොම හරි වැස්සක් වැටෙනකන් බලාගෙන ඉන්න සමහර දාට වැහි වෙනුවට වැටෙන්නේ හිතුවෙවත් නැති ප්‍රශ්න. ඒක හරියට අඬන්න ඉන්න මනුස්සයට ඇහැට ඇඟිල්ලෙන් අනින්න වගේ වැඩක් ඒ. එදාට වැහි වහින්නේ කම්මුල් දිගේ. අහස කළු වෙනවා වෙනුවට ඇස් රතු වෙනවා. වේගෙන් හුළං හමනවා වෙනුවට වේගෙන් හුස්ම වැටෙනවා. වැහි බිංදු වෙනුවට කඳුළු බිංදු වැටෙනවා. තද ගෙරවුමක් වෙනුවට සියුම් ඉකි බිඳුමක් ඇහෙනවා. අහසේ විදුලි එළි වෙනුවට හිත පසාරු  කරගෙන කිණිසි හිත පතුලට කිඳා බහිනවා. මේ හැම දෙයක්ම අස්සේ හිත තැලෙනවා. පොඩිවෙනවා. 


දවසෙන් දෙකෙන් පායන වැහි වගේම මුළු ජිවිත කාලෙම වැටෙන වැහිත් තියනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවෙයි. ඒත් මේ හැම වැස්සක් එක්කම පොඩි හරි බලාපොරොත්තුවක් හිතට රිංගන්නේ අපිටත් නොදැනීමයි. ඒ බලාපොරොත්තුව හරියට හුළඟට හෙලවෙන ඉටිපන්දම් දැල්ලක් වගේ. එළිය දෙනවා තමයි. ඒත් කොයි වෙලාවේ නිවිලා යාවිද කියන්න බෑ . කිසිම දෙයක් ගැන විශ්වාසයක් තියන්න බැරිම තැනට හිත ඇවිදගෙන ඇවිල්ලා. වැස්සට තෙමිලා තෙතබරිත වෙලා. ඒත් නැවතෙන්න නිස්කලංකයක් නෑ. හෙවණක් හොයාගෙන ඇවිදගෙන යන්න වෙලා. 

නොකිව්වට අපි හැමෝම කරන්නේ අපිට නොතෙමි ඉන්න පුළුවන් හෙවණක් හොයාගන්න මහන්සි වෙන එක තමයි. ටිකක් කල්පනා කරලා බැලුවාම හිතෙයි ඇත්තටම අපි හැමෝම හැමදාම පොඩි හරි වැස්සක තෙමෙනවා නේද කියලා. වැස්සෙන් බේරෙන්න තියන එකම ක්‍රමේ සසර කෙටි කරගන්න එක උනාට ඒ දේ කරන්නවත් අපේ හිත් නතු කරගන්න බැරි තරමටම අපේ හිත් වලට විස කාවැදිලා. හෙවණක් හොයාගෙන යන ගමන්,මම


~අමා~

 

 

Monday, September 19, 2016

|| පරණ පොත් ||


මම කුඩා දැරියක්මි. තරමක් කොටට කැපූ ඉත්තෑකූරු කොණ්ඩයෙන් මදක් නළලට වැටෙයි. රතුපාට රැළි ගවුමක් ඇඟලාගෙන සාලයේ බිම වාඩිවී සුපුරුදු පරිදි මම කතන්දර පොත් කියවමි. සාලයේ බිම එලූ පැදුරක වාඩිවී පොත් කියවීම මට ප්‍රීතියකි. ඇඳෙහි දිගාවී පොත් කියවීම මට ඊටත් වඩා ප්‍රීතියකි.

"ළමයෝ, ඔය ඇස් දෙක වපර වෙයි !! පුටුවක වාඩි වෙලා ඕක කියවන්න" ඒ අම්මාගේ කට හඬයි.

"අනේ අම්මේ !!"

මගේ කෙඳිරිය අම්මාට වදයක් බව මම දනිමි. ඒත් ඈ ඇගේ තීරණය වෙනස් නොකරන්නීය. අවසානයේ මම සාලයේ සෝපාවේ දිගාවී පොත කියවමි. අම්මාට එයද මදි වී ඇය නැවතත් හඬ අවදි කරන්නේ මා කෙසේ හෝ පුටුවක වාඩි කරවීමට බව මම දනිමි. එහෙත් හැමදාමත් මා පොත කියවා අවසන් කරන්නේ මා කැමති පරිදිය. විටින් විට පුටුවක වාඩිවෙන නමුත් දිගටම ඒ ඉරියව්වේ රැඳීම මට අපහසුවකි. මම නැවතත් ඇඳෙහි දිගාවෙමි. පොත කියවා නිම කරන තෙක් මට විවේකයක් නොවන්නේ නම්, එය මා කැමතිම වර්ගයේ පොතක් බව අම්මා දනී. එවන් දවසක නම් මට බාධා කිරීම් සිදුනොවන තරම්ය. කාලය ගෙවී ගියේ පුදුමාකාර වේගයකින් බව මට සිතෙයි. රතු පාට රැළි ගවුමක් වෙනුවට දැන් ඇඟලා ගන්නේ ටී ෂර්ට් එකක් සහ දනිස තෙක් කලිසමකි.

"කාලය මැවූ වෙනසක අරුමේ !!"

දැන් කියවන්නේ සුරංගනා කතා හෝ වැඩබැරි දාසගේ කතා නොව, ඊට වඩා ගැඹුරු තේරුම් ඇති පත පොතය. කුඩා දැරියක ලෙස මමා වඩාත් ප්‍රිය කළේ "සමන්මලී", "හත්පණ","පාළුව","උඩ ගිය බබා","ලස්ස්සන වසිලීස්සා","මැටි කෝප්පය", එන්. රැඩ්ලොව්ගේ "පින්තූර කතා" වැනි පොත් කියවීමටයි. මට සෑම උපන්දිනයකටම පාහේ ලැබුණේ පොත්ය. කවුරුන් හෝ මගෙන් ඇසුවද මා කීවේ මට "පොත්" ඕනෑ බවයි. මම එතරම් පොත් වලට කෑදර දරුවෙකු වීමි.
මට මුලින්ම "මඩොල්දූව" පොත ලැබෙන්නේ 2001.09.24 දිනය. එදා එක හුස්මට මඩොල්දූව කියවූ මට එතැන් පටන් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොත් කියවීමට දැඩි ආශාවක් ඉපදුණි. ඒ උපන් ආශාව නිසා "අපේ ගම" කෘතිය කියැවීමි.තරමක් වයසකදී "යුගාන්තය", "ගම්පෙරළිය", "කලියුගය", "බවතරණය", "කරුවල ගෙදර", "ලීලා" ද කියැවීමි. සමහර කතාවල තේරුමක් හිතාගැනීමට මට අපහසු වුන නමුත් මම තවදුරටත් කියැවීමේ නියැලුනා මිසක් නොනැවතීමි. එතෙකින්ද  නොනැවතී ටී.බී.ඉලංගරත්නයන්ගේ "හපනා","අඹ යහළුවෝ","තිලක හා තිලකා", "සැඩපහර", "මල්සරාව", "ශිෂ්‍යත්වය" ඇතුළු තවත් පොත් ගොන්නක්ද කියවා ඉවර කලෙමි.

දැන් මම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්මි. වෙනදා මෙන් බොහෝ පොත් කියැවීමට මට වෙලාවක් නොලැබෙන නමුත් විටින් විට දුම්රියේ ගමන් කරන අතරතුර පොත් කියවීමට මම වෙලාව සොයා ගනිමි. වෙනදා මෙන් නැතත් මම ඉඩ ලද විගස අලුත් පොතක් සොයාගෙන කියවමි. දැන් පොත් මිලට ගන්නේ කලාතුරකින් නමුත් මගේ පොත් රාක්කය පිරී ගොසින්ය. වැඩ බැරිදාසලා , ඩෙනිස්ලා මෙන්ම නන්දා - පියල් , අරවින්ද , නිමල් , ජින්නා , උපාලි ගිනිවැල්ලේ මෙන්ම පාවෙල් , සාෂෙන්කා , තෝන්යා ද ජිවත් වෙන්නේ එකම පොත් රාක්කයකය. ඒ පොත් රාක්කයේ මුළු ලෝකයම ජීවත් වන්නාක් මෙනි.

"අම්මේ"

"ඇයි ??"

"අර පොත් රාක්කෙ...."

"ඔව් ඉතින්, මොකද ඒකට වෙලා තියෙන්නේ ?"

"ඒකෙ දැන් ඉඩ මදියි අම්මේ. පොත් තියල තියෙන විදියට පොත් ගන්න ගියාම හරි කරදරෙයි"

"මේ හදිස්සියේ පොත් රාක්කයක් ගේන්න බෑනේ දරුවෝ. පරණ පොත් ටික ඇතුලට දාල අලුත් පොත් ටික තියන්න"

"අනේ අම්මේ"

මගේ හදවත කඩාගෙන වැටුනාක් මෙන්ය. මම අලුත් පොත් වලට වඩා පරණ පොත් වලට ආශා කලෙමි. මහ පෙට්ටියේ බැහැගෙන මාතර ගෙදරදී ද මම කළේ කාවෙක් මෙන් පරණ පොත් සොයාගෙන ඒවා ගෙදර ගෙනවිත් නැවත සැකසීමයි. අම්මා පරණ පොත් යනුවෙන් අදහස් කළේ ඒවාද නැතහොත් මම කුඩා දැරියක් කාලයේ ආශාවෙන් කියැවූ පොත් ද යන්න මම නොදනිමි.

"පරණ පොත් කිව්වේ අර මම පොඩි කාලේ කියවපු ඒවද ??" දැඩි නිහඬතාවයකින් පසු මම ඇසීමි.

"ඔව් , දෝණි ආයේ ඒවා කියවන්නේ නෑ නේ ?"

"අනේ අම්මේ මම ඒවාට ආසයි නේ. ඒවා ඔහොම තිබුණාවේ. ඒවා මට පේන්න හරි තියෙන්න ඕන" මගේ දෑස් කඳුලින් බරවීම මට මෙන්ම අම්මාටද පුදුමයක් බව මට තේරුම් ගැනීමට ගතවුනේ ඉතා කෙටි කාලයක්. බාගවිට මම එතරම්ම පරණ පොත් වලට් ඇලුම් කළා යැයි ඈ නොසිතන්න ඇති.

"එහෙනම් කැමැත්තක් කරන්න"

මම පරණ පොත් වලට මෙතරම්ම ආදරේ මන්දැයි මම නොදනිමි. පොත් නම් මට හැම පොතම එක වගේ වටිනා බව මම කලින් සිතා සිටියෙමි. එහෙත් දැන් ඇතිවී තිබෙන්නේ හාත්පසින්ම වෙනස් තත්වයකි. අලුත් පොත් වෙනුවෙන් පරණ පොත් බිලි දෙන්නට මගේ හිත ඉඩ නොදෙන හැටි !! මම පරණ පොත් සමග පුදුමාකාර ආදරයකින් බැඳී සිටිමි. පරණ පොත් දැකීමෙන් මට එකී කතා මතක් වෙන බවත් ඒ බොහෝ ඒවා මට කට පාඩම් බවත් මම දනිමි. පරණ පොත් අලුත් පොත් වලට වඩා අගෙයි මට !! ජිවිතේ සොඳුරුතම මතකයන් ඇලී තිබෙන්නේ ඒ පොත් සමග බව මම තදින්ම විශ්වාස කරමි. මට අකුරු කියවීමට බැරි කාලයේ අම්මාත් තාත්තාත් මට ඒ පොත් කියා දුන්නේ අපමණ ආදරයකින් බව මට මතකයි. ඒ ආදරය තවමත් ඒ පොත් සමගම සුරක්ෂිතව තිබෙන බව මට හිතීම අරුමයක් නොවෙයි. ඒ නිසාම මම ඒ පොත් වලට බොහොම ආදරෙයි.

ඊයේ පෙරේදා හඳුනාගත් "බබා හේනයාටත්" , "අපූ" ටත් මගේ පොත් රාක්කයේ ඉඩක් නැත. මට වැඩබැරි දාස හෝ උඩගිය බබා එළවා ගන්නට හිතක් නැතිය. උපාලි ගිනිවැල්ලේ ද, ජින්නාද  එසේමය. ඔවුන් කුඩා මගේ ලෝකයේ වීරයින්ය. එනිසා අලුත් ජීවිත වලට අලුත් ලෝකයක් ගොඩ නැගුනාවේ. පරණ ලෝකයේ මම ඩෙනිස්ලාත් , කිරිහාමිලාත් ,පව්ලූෂාලාත් සමග සතුටින් ජිවත් වෙමි. හැමදාමත් පරණ පොත් මට අලුත් පොත් වලට වඩා අගෙයි !! ඒවායේ සුවඳ විශේෂයි. ඒවායින් හමන්නේ ප්‍රීතිමත් අතීත සුවඳයි.

~නවීනා~

 

 

Friday, September 16, 2016

 ||| තීන්ත පැල්ලම |||


"නුඹ මගේ තීන්ත කූඩුව කුඩු කළ බව මම දනිමි. එසේ කළේ ඇයි දැයි මම නුඹෙන් නොවිමසමි. මට අළුත් තීන්ත කූඩුවක් මිලදී ගත හැකි නමුත් මම එසේද නොකරමි. තවමත් පෑනේ ඉතිරි වී ඇති තීන්ත වලින් මම තවදුරටත් සටහන් තබමි. සෝදා පිරිසිදු කළද ගෙබිම මත තවමත් මට තීන්ත පැල්ලම දැක ගත හැකිය. නුඹ තීන්ත කූඩුව කුඩු කිරීම පිළිබඳව මගේ හිතේ ඇත්තේ නොපහන් හැඟීමකට වඩා වඩාත් අපැහැදිලි, තෝරා ගත නොහැකි අමුතු හැඟීමකි. එය කුහුලක්ද නැතහොත් ශෝකයක්ද යන්න තෝරාගැනීම මට අපහසු කරුණකි. කෙසේ නමුත් මට තවමත් පලා යාමට සිතක් නැත්තේය. ඉතිරිව ඇති තීන්ත වලට කුමක් කරන්නේ දැයි තවමත් මට ගැටළුවකි. ඉන් සටහන් විය යුත්තේ නුඹටත් මටත් වැදගත් යමකි. එසේ ප්‍රවේශමෙන් තෝරාගත් වස්තු බීජයක් තවමත් මම නොලදිමි. එතෙක්  මම සටහනක් නොතබමි. මීට කලකට ඉහතදී සටහන් ගොන්නක් කාගේදෝ උවමනාවට දවා අළු කළේද නුඹම බව මම දනිමි. එහෙත් නුඹට මම වෛර නොකරමි. ඒ අළුද මේ පැල්ලමද මට බොහොම දේ ඉගැන්විය. වෙන කිසිම කලකටත් වඩා මම දැන් ප්‍රීති වෙමි. ඒ අන් කවර හේතුවක්වත් නිසා නොව, මෙතෙක් කල් නොදුටු බොහෝ දේ එකම එක  තීන්ත පැල්ලමක් තුලින් දැකීමට හැකිවීම  නිසාය."


~අමා~

 

 

Saturday, August 27, 2016

|| තාන්යාට ලියමි 11 - (සාෂෙන්කා වැන්යුෂින්) ||


ආදරණිය තාන්යා,

නුඹට ලියන්නට මෙතෙක් කල් ගැනීම පිළිබඳව මට සමාවෙන්න. ව්ලැදිවොස්ටොක් ජීවිතය මම හිතුවාටත් වඩා කාර්යබහුල උනා. අම්මාගේත් තාත්තාගේත් බලවත් ඉල්ලීම නිසා මම සතියක පමණ කාලයක් එහි රැඳී නොසිටින්නට මට නුඹව මුණගැහෙන්න එන්නත් බැරුව යන්න ඉඩ තිබුණා. නුඹ සනීපෙන් ඉන්නවා නේද බෝනික්කි ?? එදා හමුව තරමක් කෙටි එකක් උනත් මම බොහොම සතුටු උනා. නුඹ දැන් ඉස්සරටත් වඩා ලස්සනයි පුංචි කවිකාරි !! නුඹේ හිනාව එන්න එන්නම ලස්සන වෙනවා කියලයි මට හිතෙන්නේ. දැන් ආයෙමත් අපි අපේ ලෝක වල. කොටින්ම, ලියන්නවත් මට වෙලාවක් හොයාගන්න බැරි තරමට මගේ දවස කලබලකාරී වෙලා.

මම ආයෙමත් කුර්කීස් වල ඉඳන් මිටියාවතට ආ බව නුඹ දන්නවා නේද ? දැන් මෙහේ ඇවිත් සති හතරක් විතර ගෙවෙන්න ලං වෙලා. අතරමග දාලා ආපු වැඩ කටයුතු ඔක්කොම පිළිවෙලකට ආයෙම පටන් ගන්න මට ටිකක් කල් ගත වුනා. මිටියාවත අබ මල් රේණුවක තරමකින් වත් වෙනස් වෙලා නෑ තාන්යා. වොල්ගාව තවමත් ඇගේ ගීතය ගයමින් ගලා බසිනවා. පොප්ලර් ගස් පේළියත් තවමත් එහෙමමයි. පුංචි පොකුණ පැත්තට ආපු දාට පස්සේ ආයෙම යන්න වෙලාවක් නැතුව ගියා. පොකුණ ළඟ ඉඳන් ඉන්න මම කොච්චර නම් ආස කළාද ? ඒත් මේ තියන වැඩ රාජකාරි එක්ක මට ඒ දේ කරන්න වෙලාවක් හොයාගන්න බෑ තාන්යා.

පහුගිය සතියේ අපි සැණකෙළියට ගියා. ඒත් වෙනදා තරම්ම සැණකෙළිය ලස්සන නෑ කියලයි මට හිතුනේ. මෙදාපාර බිස්කට් එක්ක අයිස් ක්‍රීම් කන්නත් බැරුව ගියා තාන්යා !! ඒ වෙනුවට මේ පාර අපි කෑවේ අල කූරු !! ඒවා එතරම්ම රස නැති උනත් අපි බොහොම සතුටු උනා. 


පාව්කා ගැන වචනයක්වත් කියන්නේ නැත්තේ මොකද කියල නුඹ හිතනවා ඇති නේද ! පව්ලූෂා මිකායෙව් සනීපෙන් ඉන්නවා තාන්යා. ඔහු දැන් ඉස්සරට වඩා තරමක් හොඳයි කියලයි මට හිතෙන්නේ. හරියට කිව්වොත් කළු අසරුවා අලුත් නවාතැනක් හොයන් යන්න ගිහින් කියලයි මට හිතෙන්නේ. මම ඒ ගැන හරියට කියන්න දන්නේ නෑ. ඒත් මට සතුටුයි. කොහොම උනත්, බැලලයිකාව එක්ක ඔහුව දකින්න මට ටිකක් කල් බලන් ඉන්න සිද්ද උනා. ඒත් කොහොමින් හරි පහුගිය සතියේ දවසක මට ඔහු වයනවා බලන් ඉන්න ලැබුණා. දැන් මට ඉසාර වගේ බලන් ඉන්න හිතෙන්නේ නෑ තාන්යා. ඔහු දිනපොත කියවා ඇති වගක් හැඟෙන නිසා මට දැන් අමුතු ලැජ්ජාවක් ඇති වෙලා ! දැන් මම බලන්නේ ඉස්සරටත් වඩා හොරෙන් ! බොහොම පරිස්සමින්. කොටින්ම දැන් මම අමුතු කෙල්ලක් කියල මටම හිතෙන්න පටන් අරන්. ඒ කොයි හැටි වෙතත් මම වෙනදාටත් වඩා බොහොම සතුටෙන් ඉන්නවා තාන්යා !! නුඹත් සතුටින් නොවෙද ?

මම දන්නවා, මටත් වඩා නුඹට වැඩ රාජකාරි බොහොමයි. ඒත් නුඹේ සතුටට ඒක බාධාවක් වෙන්න ඉඩ තියන්න එපා. නුඹම කියන්නා වගේ අපිට නියමිත රාජකාරියක් තියෙනවා. ඒ රාජකාරිය කරන්න යන අතරමග සිද්ද වෙන හැම දෙයක්ම දරාගෙන ඉලක්කෙට යන එක ලේසි නෑ. ඒත් එහෙමයි කියල කවදාවත් ඉලක්කය පෙනි පෙනී අපිට මග නතර වෙලා ඉන්නත් බෑ . එහෙම උනොත් ඉතුරු වෙන්නේ ලොකු පසුතැවිල්ලක් විතරයි. පහුගිය කාලේ ඇතුලත මම බොහොම දේ ඉගෙන ගත්තා තාන්යා. ඒ හැම දෙයක් එක්කම මම බොහොම මැදහත් හිතින් හැමදෙයක්ම දිහා බලන්න පටන් අරන්. මම දන්නවා, නුඹ මටත් වඩා හොඳට ඒ ගැන දන්නවා කියලා. සතුටින් ඉන්න බොනික්කී !!

ඉඩක් ලදොත් මෙහි ඇවිත් යන්න එන්න. මම මග බලාගෙන ඉන්නවා.

ආදරෙන්,

සාෂෙන්කා වැන්යුෂින්.

~සමාප්තයි~

 

 

Tuesday, August 2, 2016

|| තාන්යාට ලියමි 10 - (සාෂෙන්කා වැන්යුෂින්) ||


ආදරණිය තාන්යා,

නුඹට මේ දවස් දෙක තුන ඇතුළත ලියන දෙවන ලිපිය මෙයයි. කලින් ලියමන බොහොම කලබලයෙන් ලියා අවසන් කිරීම පිළිබඳව සමාවෙන්න බෝනික්කී !! මට නුඹට ලියමන තැපැල් කිරීමටත්  නගර ශාලාවේ ඇති රැඟුම නැරඹීමටත්  වෙලා ඇතුව යා යුතුව තිබුනා. එනිසා ලියමනේ වැඩි විස්තරයක් ලියා එවන්න මට බැරි වීම පිළිබඳව මගේ කණගාටුව පිළිගන්න. පාව්කා මට ලියූ බව මම නුඹට කීවා නොවේද ? ඒ ලියමනෙන් මට හැඟුනේ පාව්කා දිනපොත කියවා ඇති බවක්. ඒ කොහොම උනත් මම ඒ ගැන ඔහුගෙන් ආයෙ අහන්න යන්න ඕන නෑ කියලයි මට හිතෙන්නේ. දිනපොතට වඩා මට ඔහුගේ ලියමන වටිනවා තාන්යා. මිටියාවතේ සිදු උන කිසිම දෙයක් ගැන මට ඔහුගෙන් අහන්න බෑ. ඔහුම ඒ ගැන ලියා එව්වෝතින් මිසක් මම ඒ ගැන ආයෙ අහන්න යන්නේ නෑ කියලයි මම හිතුවේ.

මම නැව් නැග්ග වග ඔහුට දන්වා තිබෙන්නේ මීෂා විය යුතුයි. ලුද්මිලා ඔහු එක්ක කතාවක් නෑ නේ !! ලියමන ඉතාම කෙටි එකක් උනත් බොහොම පිළිවෙලට කරුණු පෙලගස්වා තිබුනා. නැව් ගමන පිළිබඳව විස්තර එහි අසා තිබුණා.

"සාෂා, නුඹට මාත් එක්ක තරහ ඇති"

මම කොපමණ තරහ නෑ කියල කීවත් පව්ලූෂා එය පිළිනොගන්නා හැටි !! මිටියාවතේදී නම් මම කිවේ "පුදුම පණ්ඩිතකමක් නේ" කියලයි. ඒත් ලියමනක එහෙම ලියා යවන්නේ කොහොමද !! කටින් කියනවා තරම් දැනෙන්න ලියලා යවන්න මට පුළුවන් කමක් නෑ. තාන්යා, මම ව්ලැදිවොස්ටොක් වල තව මාසයක් පමණ රැඳී ඉන්නවා. ඊට පස්සේ කු(ර්)කීස් යන්නයි හිතුවේ. ඒත් මිටියාවතේදී මා ඉගෙනගත් දෑ අතරමග නවතා දමා ඒම පිළිබඳව අම්මාත් , තාත්තාත් , මල්ලීත් බොහොම කණස්සල්ලෙන් පසුවන්නේ. ඒ නිසා නැවත මිටියාවතට යනවාද නැද්ද කියා හිතන්න මට සිද්ද වෙලා. යූලියා නම් කියන්නේ ආයෙමත් මිටියාවතට යන්න කාලේ හරි කියලා. නුඹේ අදහස මොකද්ද ඒ ගැන ? නැව් නැගලා මෙහි නාවා නම් මෙහෙම නුඹට ලියන්න මම කියල කෙනෙක් ඉතුරු වෙන්නේ නැති වෙන්න ඉඩ තිබුණා. ඒත් දෛවය අපි හිතන තරම් නපුරු නෑ තාන්යා !! නුඹත් මමත් මිතුරියන් උනේ මාව මේ ලෝකේ තව ටික කාලයක් ඉතුරු කරන්න.

අද උදේ මම කණ්නාඩියක් ඉස්සරහට ගිහින් සාෂෙන්කාගේ මුහුණ දැකගත්තා. සාෂාගේ ඇස්වල දැන් දුක වෙනුවට බොහොම ගොඩක් ශක්තිය එකතුවෙලා බව මට පෙනුණා. ඒත් තවමත් ඇගේ හදවත බොහොම සංවේදියි. ඒ සංවේදීකම සාෂා අනිත් කිරිල්ලියන්ගෙන් වෙනස් එකියක් බවට පත්කරනවා කියලයි මට හිතුනේ. ඒ කොහොම වෙතත් ඈ දැන් වෙනදාට වඩා තරමක් ප්‍රීතියෙන්. පියානෝවක් ලැබීම නිසා ඇගේ අතැඟිලි වෙහෙසට පත් වෙලා !! තාන්යා, නුඹ දකින්න මට බොහොම ආසයි. නිවාඩුවක් ලදහොත් මා කු(ර්)කීස් පැමිණි විටක නුඹ දකින්න එන්නම්. නුඹේ ලස්සනම ලස්සන හිනාව දකින්න මම මග බලාගෙන.

සතුටින් ඉන්න තාන්යා පෙත්යූෂ්කින් !!

ආදරෙන්,


~සාෂා~


ප.ලි. නුඹේ කවියක් නොදැක දැන් බොහොම කල් ගතවුනා !! මීළඟ ලියමනේ මට තනුවක් යොදා ගයන්නම ලයිඩර් ගීතයක් ලියා එවනවා නම් බොහොම අගෙයි !! දැන් පියානෝවක් ඇති නිසා මට තනුවක් යෙදීම පහසුයි !!


Friday, July 29, 2016

|| තාන්යාට ලියමි 9 - (සාෂෙන්කා වැන්යුෂින්) ||


ආදරණිය තාන්යා,

පුංචි සුරංගනාවී නුඹ සනීපෙන් ඉන්නවා නේද ?? අවසාන වරට මම නුඹට ලිවේ මීට සති දෙකකට කලින් නොවේද ?? මට සමාවෙන්න තාන්යා. මම පහුගිය සති දෙකේම ගතකළේ හරිම කලබලකාරී ජීවිතයක්. ව්ලැදිවොස්ටොක් වෙත පැමිණි වහාම නුඹට විදුලි පණිවුඩයක් එව්වා. නුඹට එය ලැබුණා නේද ? නුඹට බොහොම වැඩ රාජකාරි තිබෙන බව මම දන්නවා. ගිලන් වූ අයට ප්‍රතිකාර කිරීම ලහි ලහියේ සිද්ද වෙන බව මට ආරංචි උනා.  යූලියාද මට ඒ ගැන වරක් ලියා එවා තිබුණා මට මතකයි. නුඹත් පරිස්සම් වෙන්න ඕනා. එයත් වැදගත් බව සිහි තබාගන්න. නුඹේ ඔය හිනාවම ඇති ගිලන් උන කෙනෙක් සුවපත් කරන්න !! එය ඒ තරමටම දැකුම්කළුයි තාන්යා. යූලියාත් ඒ ගැන නිතර වර්ණනා කරනවා නුඹට මතක ඇති.

මීට හරියටම සතියයි දවස් පහකට කලින් අපි ව්ලැදිවොස්ටොක් වෙත ළඟා වුනා. නැව තව තුන් මාසයක් මෙහි නැංගුරම් දමා තියේවි. ඒ කාලය අතරතුර මම තීරණයක් ගත යුතුව තිබෙනවා. නැවතත් නැව් නගිනවාද, නැතිනම් මෙහිම ජිවත් වෙනවාද කියා කිසිම අදහසක් මට තවමත් නෑ. මට නුඹට කියන්නට යමක් තිබෙනවා තාන්යා. මිට පෙර නුඹට එය නොකීවාට මට සමාවෙන්න තාන්යා. එහෙම කළේ නුඹේ හිතට තවත් හිතන්න යමක් එකතු කරන්න ඕන නැති නිසයි. නුඹේ ප්‍රශ්න අස්සේ මගේ ප්‍රශ්නද නුඹේ ඔය පුංචි හිතට දාන්නට මට හිත හදාගන්න බැරුව ගියා. 


මම පාව්කාට ලීවා !! මට එහෙම නොකර ඉන්න පුළුවන් කමක් තිබුනේ නෑ .මීට සති දෙකකට පමණ උඩදී දවසක මම පව්ලූෂා මිකායෙව්ට ලිව්වා. මා එක්ක තරහ නෑ නේද නුඹේ වචන වලට පිටු පෑවාට ?? හැමදාමත් ඔහු සිහිනෙන් දැකීම නිසා මම බොහොම නොඉවසිලිවන්ත උනා. නොඉවසිල්ලෙන් ජීවත් වීම පහසු දෙයක් නොවන වග මටත් වඩා හොඳට නුඹ දන්නවා නොවේද ? එනිසා මම ඒ දිනවල නව තට්ටුව මතට ආවේ බොහොම රෑ බෝ උනාට පස්සේ. කපිතාන් වසිලියෙව්ගේ උකුසු ඇස් වලින් ගැලවෙන්න තිබුණු උවමනාවට මම නිතරම හිටියේ මූදට මූණලාගෙනයි. මම පාව්කාගෙන් පිළිතුරු බලාපොරොත්තු උනේ නෑ. කොටින්ම ඔහු ලියමන කියවාවි යැයිද බලාපොරොත්තු උනේ නෑ. ඒත් මොකද්දෝ හේතුවකට මම බලාපොරොත්තු වලින් ඈතට යනවා වෙනුවට ඒවා දිහා ඇස දල්වාගෙන බලන් ඉන්න පටන් අරගෙන තිබුණා. ඒත් වෙනදා වගේ ඒවාටම පමණක් හිත යොමුකරන්න හැකියාවක් මට තිබුනේ නෑ. පැයෙන් පැය ගෙවිලා දින ගනන් ගෙවිලා ගියා. 

ව්ලැදිවෝස්ටොක් ඇවිත් කිහිප දවසකින් මට ලියමනක් ලැබී ඇති බව සේලරුවෙක් මට කිවා. නුඹවත් යූලියාවත් බොරිස්ලැව්වත් නැවත ලිවේ මන්දැයි මට තේරුම් ගන්න බැරි උනා. මම කල්පනාකරමින්ම ගිහින් ලියමන බාරගත්තා. මට ඇස අදහාගන්න බැරුව ගියා තාන්යා !!! බොහොම පුංචියට ලියපු ඒ අකුරු අඳුරගන්න මට අපහසු උනේ නෑ !! ඒ දකින්නේ හීනයක් ද කියලා මට හිතුනා. මගේ ආදරණිය යමහල - පාව්කා - පව්ලූෂා මිකායෙව් මගේ ලියමන කියවා මට පිළිතුරු ලියලා. අන්තිමට කළු අසරුවා පරාද උනා එහෙනම් !! මට ආයෙම මිටියාවතට ඉගිල්ලෙන්න හිතුනා කෙල්ලේ !! වැඩි විස්තර පසුවට නුඹට ලියා එවන්නම්.

ඒත් මට අදට සමුගන්න වෙනවා. අද හවස නගර ශාලාවේ ඇති රැඟුමක් බලන්න යන්න මම ටිකිති ලබා ගත්තා තාන්යා !! සියලුම විස්තර ලියා නැවත නුඹට ලියමනක් එවන්නම්.මම පොරොන්දු වෙනවා. එතෙක් නුඹට ආයුබෝවන් !! ව්ලැදිවෝස්ටොක් සිට එවන සුබ පැතුම්ද පිළිගන්න !!

ආදරෙන්,


~සාෂා~


ප.ලි. මම නවාතැන්ගෙන සිටින නිවසේ පියානෝවක් තිබෙනවා ! ඒ නිසා මට පාළුවක් නොදැනෙන තරම්. නිවෙස් හිමිකාරියත් මමත් පමණයි එහි ඉන්නේ. ඇයද මගේ වාදන අසන්නට ඉතාම ප්‍රියයි. නුඹද මෙහි සිටියා නම් කදිමයි තාන්යා !! එහෙමනම් නුඹට මගේ වැයුම් වලට ගයන්නටත් රඟන්නටත්  තිබුණා !! 









Saturday, July 16, 2016

|| තාන්යාට ලියමි 8 - (සාෂෙන්කා වැන්යුෂින්) ||


ආදරණිය තාන්යා,

මගේ පුංචි කවිකාරි සනීපෙන් නේද ?? නුඹේ රුසියන් බෝනික්කිට අද හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා. ඇයිද කියලා නම් මට වැඩි තේරුමක් නෑ ! අද හොඳට ඉර පායපු දවසක්. වෙනදා තරම් හුළඟක් නැතත් හරිම ප්‍රියජනක පරිසරයක්. මා වෙනුවෙන් කොප්ලාවක් ගයන්නට නුඹ මෙහි හිටියානම් බොහොම අගෙයි තාන්යා !! ඩර්බිෂයරය ගැන දැනගන්න මම බොහොම නොඉවසිල්ලෙන්. තාම නුඹ එහි ළඟා උනේ නෑ නේද ? ව්‍ලැදිවොස්ටොක් වලට යන්න තව අඩුමතරමේ සතියක්වත් ගතවෙයි කියලයි මට හිතෙන්නේ. නැව් ගමන් ගැන මම දන්නේ මොනවද නේද !!! මම දන්නවා ....නුඹ මේ ලියුම කියවද්දී බොහොම සද්දෙට හිනාවෙලා "අනේ අනේ සාෂෙන්කා" කියල කියනවා සහතිකයි. 


නුඹේ කවියක් දකින්න මම මග බලාගෙන ඉන්න බව අමතක කරන්න එපා කෙල්ලේ. අද බොහොම ලස්සන දවසක් කියල කියන්න තව හේතුවක් උනේ උදේ පාන්දර ඉඳන්ම මගේ පෑනට විවේකයක් නැති කමයි. කොහේදෝ හැංගිලා තිබුණ සතුටු කවි ගොඩක් එලියට එන්න අරගෙන !! මගේ පෑනට කිසිම නිස්කලංකයක් නෑ .....ඒත් මට සතුටුයි. පළමුදා මම බොහොම බය උනා මට දැකපු හීනෙන් එලියට එන්න බැරිවෙයි කියලා. ඒත් මාව වටකරගෙන ඉන්න මේ ලස්සන සාගරේ මායම් වලින් පිරිලා !! මම කොහොමහරි ජිවත් වෙන්න ඉගෙන ගෙන. හරියට කිව්වොත් මුහුදු මායාව මට බොහොමයක් දේ උගන්නනවා.

නුඹ මුතු බෙල්ලන් ගැන දන්නවා නේද ?? මුතු බෙල්ලෙක් බොහොම කාලයක් තිස්සේ හංගගෙන ඉන්න වේදනාව තමයි තාන්යා අන්තිමට බොහොම ලස්සන මුතු කැටයක් වෙලා අපේ අතට එන්නේ. ඌට අයිති මුතු කැටය අපේ සන්තකයට ගන්න එක කොච්චර සාධාරණද කියන්න මම දන්නේ නෑ. ඒත් ඒ වේදනාවට මුල පුංචි වැලි කැටයක්. පුංචිම පුංචි වැලි කැටයක් නිසා අපි ලස්සන මුතු දකිනවා තාන්යා. අපිට ජිවිතේ තැන් තැන් වලදී ඇතිවෙන වේදනාත් හරියට මේ වැලි කැට වගේ. මුතු කැටයක් වෙන බෙල්ලෙකුගේ වේදනාවත්, කවියක් හරි කතාවක් හරි වෙලා එළියට එන මනුස්ස හිතේ වේදනාවත් සමානයි කියල මට හිතෙනවා. වෙනසකට තියෙන්නේ මුතු කැටයකට බොහොම ඉහල මිලක් නියම වෙනවා . ඒත් කවියකට එහෙම නෑ. 


පුංචි කතාවකට එහෙම නෑ . මිලක් නියම නොවුනාට කමක් නෑ. ඒවා මිනිස්සුන්ව ජිවත් කරනවා. වේදනාවට පත්වුන අයත් නොවුන අයත් ඒවා රස විඳිනවා. වැදගත්කම තියෙන්නේ එතනයි කියල මට හිතෙන්නේ. නුඹ ලියන කවියක් මගේ කරගෙන මම රස විඳිනවා නම් , නුඹ ගයන කොප්ලාවක් මම මගේ කරගෙන රස විඳිනවා නම් ඊට වඩා දෙයක් නෑ නේද ?? නුඹත් මමත් ලියන්නේ දුකින් උපන් සිතුවිලි වලට කියල අනිත් අය කියාවි. ඒ ඒ අය කියන දේ. නොකියන දේ බොහොමයි තාන්යා. මම ඒ දේ අත්දැකීමෙන් දන්නවා. ඔවුන් බොහොමයක් නොකිව්වාට අඩු හෝ වැඩි වශයෙන් ඔවුන්ගේ ජිවිත කතාවේ කොටසක් එහි තියෙනවා. එහෙම නැත්නම් සම්පුර්ණයෙන්ම ඒ ඇගේ නැත්නම් ඔහුගේ කතාව.

වේදනා පුංචි වැලි කැටයක 
ලොකු වැඩියි නොවෙද මුතු බෙල්ලෙකුට
දැනෙනවා ඌට මට මෙන් නුඹට
ඒ රිදුම දුර අනන්තෙට
ගෙවා දිවියෙන් වන්දිය
මිලක් දෙන උන් මුතු ඇටයට
වගෙයි කවියක් ලියැවෙන 
කඳුළු මිස මිලක් නොම උපදින 

අපි දැකපු දේට වඩා නොදැකපු දේ වැඩියි තාන්යා. ඇසූ දේට වඩා නෑසූ දේ වැඩියි. ඒ නිසා අපි ගන්න තීරණ සමහර වෙලාට හරිම අපැහැදිලියි. වැඩකට ඇත්තෙම නෑ වගේ. මට හිතෙන්නේ පාව්කා මට ගිරා මොලයක් තියනවා කිව්වේ මට ඒ වෙද්දි දැන් තේරෙන දේවල් වලින් බාගයක් වත් නොතේරුන නිසා වෙන්න ඇති. ඔන්න මම නුඹේ කීමට අවනත උනා තාන්යා. පාව්කා ගැන එක පාරකට දෙපාරකට වඩා  නොලියා හිටියා !!

මම කැමතියි නුඹ ගොතාපු කොප්ලාවක් ඉක්මනටම අහන්න තාන්යා. නුඹේ කැරළි කොණ්ඩයත් පියකරු මුහුණත් දැකගන්න මම නොඉවසිල්ලෙන්. නුඹේ ලස්සන ඇස් වලට සතුටු කඳුළු මසක් දුක් කදුළු පුරවගන්න එපා කෙල්ලේ. පරිස්සමින් ඉන්න තාන්යා පෙත්යූෂ්කින් !! . අදට මම නවතිනවා.

ආදරෙන් ,


~සාෂා~

 

 



Friday, July 15, 2016

|| තාන්යාට ලියමි 7 - (සාෂෙන්කා වැන්යුෂින්) ||


ආදරණිය තාන්යා,

අද මම නුඹට ලියන්නේ නැව් තට්ටුවට ඇවිදින් උනත්, තාම ඉර පායලා නෑ. ඊයේ දවසම මම කාමරයටම වෙලා හිටියා. මට දැනුනේ බොහොම උදාසීන කමක්. කොහොම උනත් මූදු හුළඟ හරිම සැපවත් කියලයි මට හිතුනේ. හුළඟට මගේ කොණ්ඩය හොඳටම අවුල් උනත්, මට බොහොම සීතල දැනුනත් මම ඒ  හුළඟට මගේ මුහුණ සිඹින්න ඉඩ දුන්නා. ඉස්සර වොල්ගාව දිහා බලාගෙන ඉන්න වෙලාවටත් මට දැනුනේ මීට සමාන හැඟීමක් තාන්යා. අද මම නුඹට ලියන්නේ ලස්සන තරු ගොඩක් යටට වෙලා ඉඳගෙන. මේ මම රාත්‍රියක නැව් තට්ටුවට ගොඩවුන පළමුවෙනි වතාවයි. ඒ නිසා බලන්න දේ බොහොමයි. තරු පොකුරු තැනින් තැන. ඒත් මම වඩාත් ආසා කළේ තනි තරුවටයි. එකම එක තරුවක් තරු පොකුරු ඔක්කොගෙන්ම ඈත් වෙලා තනියම !! මට ඒ තරුවට ආස හිතුනා තාන්යා. වෙන කිසිම තරුවකට වඩා ඒ තරුව දීප්තිමත් කියලයි මට හිතුනේ. ඒ තරුවත් පාව්කාගේ ඇසුත් එකවගේ කියලයි මට හිතුනේ. කොටින්ම ඒ තරුව පාවෙල්ට සමාන නොකර ඉන්න මට බැරුව ගියා.
 

සඳට මම නොම ලොබ වෙමි
එකම මුත් අහසට ඇති
තරු පොකුරු බෝ පායති
නමුදු එකකටම හිත ඇති

වළාවෝ කළු පාවෙති
හතරවටඳුර අඩු නැති
නොපෙනෙනා නුඹ අරුමැති
හිතට ඉවසුම් නම් නැති

සප්තකය තරු නැග එති
රටාවට උන් රඟ දෙති
එකී රැඟුමෙන් කම් නැති
නුඹ නේන නුබ හැඩ නැති

නුඹට මේ හදිස්සියේම ලියන්න හේතුව ඒකම නොවෙයි තාන්යා. නුඹෙන් පිළිතුරක් ලැබෙන්නට පෙරම මම නුඹට ආයෙම ලියන්නේ මගේ හිතේ කුණාටුව දරුණු වෙන්න ඉස්සරින්. ඊයෙ ටිකක් වේලාසනින්ම මම නින්දට වැටුණා. වෙලාවක් ගැන අවබෝධයක් මට නෑ. ඒත් මම බොහොම වෙලා නිදාගත්තා කියලා මට විශ්වාසයි. මම හදිසියේම නින්දෙන් ඇහැරුනේ පුංචි මිටියාවත හීනෙන් දැකලයි. මිටියාවතේ කවදාවත් නැති තරම එළිය පිරිලා. පොප්ලර් ගස් වගේම හැම දෙයක්ම බොහොම ප්‍රබෝධමත්. ඒවා මාත් එක්ක හිනාවෙනවා වගේ. වොල්ගාව දිහා බලන්න මම පොප්ලර් ගස් ලඟට ගියා. එතනට කවදත් වොල්ගාව බොහොම ලස්සනට පෙනුනා. විශ්වාස කරන්න තාන්යා වොල්ගාව කවදාවත්ම මම එතරම්ම ලස්සනට දැකල තිබුනේ නෑ. මට වොල්ගාව දිහාම බලාගෙන ඉන්න හිතුනා. ඒත් ඊටත් වඩා මට බලන්න දෙයක් තිබුණා. මම පොකුණ දිහාට ඇවිදගෙන ගියා. කිසිම දෙයක් වෙනස් වෙලා නෑ . පොකුණ තවමත් එහෙමමයි. මම ආපහු යන්න හැරුනා. බොහොම ඈතින් කවුදෝ ඇවිදගෙන එනවා මට පෙනුණා. වැඩි වෙලාවක් ගතවෙන්න කලින් ඒ එන්නේ කවුද කියලා මම හරියටම දැක්කා. සාෂා බොහොම ආස කරපු නිල්  පාට කොටු කමිසය !!! පාව්කාගේ අතේ මොකද්ද පොතක්. මගේ හදව වේගයෙන් ගැහෙන්න පටන් ගත්තා. ඒ පොත මගේ දිනපොත කියලා මට විශ්වාසයි. පාව්කා ඒ ඔක්කොම කියවලාද ?? අනේ පාව්කා !! කළු අසරුවාගෙන් නුඹ ඇත්තට මිදුනාද ??

"සාෂා"

"මම නුඹේ දිනපොත කියෙව්වා සාෂා"

එපමණකින්ම මම පිබිදුනා. මම බොහොම කලබල වෙලා කියලා මට තේරෙනවා තාන්යා. ඒත් තවදුරටත් මට කාමරයට වෙලා ඉන්න බැරි බව මට තේරුණා. ඒ නිසා වහාම මම නුඹට ලියන්න හිතාගෙන නැව් තට්ටුවට ගොඩවුණා . එත් නුඹට ලියන්න කලින්ම මට කපිතාන්ට උත්තර දෙන්න සිද්ද උනා.

"වැන්යුෂින් මෙනවිය !! මේ රෑ මොකද මේ නැව් තට්ටුවේ ??? නුඹ ඊයේ උදෑසන ආවේ නෑ නේද ??"

"ආහ්, කපිතාන්, මට ලියන්න හිතුනා. ඒ නිසයි රෑම නව තට්ටුවට ආවේ"

"නුඹ බොහොම බය වෙලා වගෙයි !!"

"නැහැ !! මම බය වෙලා නැහැ !!" මම බොරු හිනාවක් මූණේ අලවගන්න තැත් කරමින් කිව්වා.

"නුඹට බොරු කියන්න ඉගෙන ගන්න වෙනවා !! පරිස්සමින් , රෑට හුළඟ බොහොම සීතයි. නුඹ අසනීප වෙයි. සුබ රාත්‍රියක් ඔබට"

"සුබ රාත්‍රියක්"

නුඹ කියනවා හරි තාන්යා. බය උන වෙලාවට මොන විදියකින්වත් මට ඒක හංගගන්න බෑ . ඒත් දුක හංගගන්න නම් මට පුළුවන් කියලා මම දන්නවා. මිටියාවතේදී ඉන්න කාලෙන් වැඩි දවසක් මම ජිවත් උනේ එහෙමයි. හැමෝම දැක්කේ මම අලවගත්තු හිනාවක් මිසක් ඇත්ත නොවෙයි. නුඹට බොරිස්ලැව් මතකද ?? බොරිස්ලැව්ගෙන් ලියමන් දෙකක්ම මට ලැබුනා. ඔහු මට මොස්කව් එන්නට ආරාධනා කළා. ඒත් ව්ලැදිවොස්ටෝක් ඉඳන් මොස්කව් වලට බොහොම දුරයි. ඒ නිසා ඒ ගැන නම් මට දෙපාරක් හිතන්න වෙනවා. නුඹ පරිස්සමෙන් ඉන්න තාන්යා. මම මෙතනින් නවතිනවා.

සතුටින් ඉන්න මගේ පුංචි කවිකාරි !!

ආදරෙන්,

~සාෂා~

 

 

Wednesday, July 13, 2016

|| තාන්යාට ලියමි 6 - (සාෂෙන්කා වැන්යුෂින්) ||


ආදරණිය තාන්යා,

කිසිම ලියමනක නුඹේ සුවදුක් නොවිමසුවාට මට සමාවෙන්න. එහෙම නොකළේ ඇයි කියන්න මම දන්නේ නෑ තාන්යා. ඒ නුඹ සුවෙන් ඇතැයි මම විශ්වාස කළ නිසා වෙන්න ඇති. කොහොම උනත් මගේ දවස වෙනදා වගේ නෙවෙයි කියන්න නම් මම දන්නවා. මම ගත කරන හැම දවසක්ම එකකට එකක් වෙනස්. පුංචි මිටියාවතේදී නම් මම ගතකල හැමදවසක්ම වගේ බොහොම සමානකම් ඇති දවස් උනා. ඒත් නැවට ගොඩ උන දා ඉඳන් මම ගතකරන්නේ මහා අමුතු ජිවිතයක් කියල මට හිතෙන්න පටන් අරන්.

පළමුදා රෑ පටන්ගත් වැස්ස ඊයේ මුළු දවසමත් ඇදහැලුනා. අද උදෙත් පුංචි පොද වැස්සක් බිමට වැටුනත් දැන් නම් ටිකක් වත් වහින්නේ නෑ . ඒ නිසා මම නැව් තට්ටුවට ගොඩවුණා. වැස්ස දිහා බලන් ඉන්න මම හරිම කැමතියි. නිදාගෙන ඉන්න කවි හිත අවදි කරන්න පුළුවන් එක දෙයක් තමයි වැස්ස. පොරවාගෙන නිදාගන්නවා වෙනුවට මම ආස කළේ ජනේලයෙන් එළියේ වහින හැටි බලන් ඉන්නයි. උණුසුම් කොකෝවා දමාපු කිරි කෝප්පයක් බොන ගමන් පොත් කියවන්නයි. එහෙමත් නැතිනම් අවදි වුන කවි හිත කියන කවි කතා කොළවල ලියන්නයි. කඩදාසි ඔරු හදලා පා කරන්න මම අකමැති උනේ පොඩි දුරක් යන්නත් ඉස්සර ඒවා පෙඟිලා කැඩිලා යන නිසයි. ඒ නිසා යෙගෝර් ඔරු යවන හැටි මම බලාගෙන හිටියා මිසක් කවදාවත් ඔරු  පාකරන්න මම ඔහු එක්ක ගියේ නෑ.

ඊයේ මුළු රෑම මට නින්ද ගියේ නෑ තාන්යා. වේගෙන් හුළං හමන සද්දයත් නොනැවතෙන වැස්සත් නිසා මගේ හිත හරියට කලබල වෙලා. කපිතාන් වසිලියෙව් සේලරුවන් හැරෙන්නට අපි කාටවත්ම නැව් තට්ටුවට නොපැමිණෙන ලෙස අණ කළා. ඒ නිසා අපි කිසිම කෙනෙක් ඊයේ කාමරෙන් එළියට ආවේ නෑ. සමහර වෙලාවට නැව බොහොම වේගයෙන් පැද්දෙනවා මට දැනුනා. "අනේ , කුණාටුවක් නම් එන්න එපා !!" මම ප්‍රාර්ථනා කළා. මොකක් හෝ හේතුවක් නිසා මම තාලයක් මුමුණන්න පටන් අරගෙන තාන්යා. ඒ තාලය මුලින්ම මම වැයුවේ පාසලේ විවිධ ප්‍රසංගයටයි. පුංචි පියානෝ සංගීත ඛණ්ඩයක් උනාට මම ඒ තාලයට බොහොම ආස කළා. මට හිතුනේ ඒ තාලය කියන්නේ බොහොම අමුතු කතාවක් කියලයි.

"දවසක් ඒවි,
නුඹට යන්න වෙන
තවත් දවසක් ඒවි,
මට ද යන්න වෙන ,
ඒත් ඒ හැම දවසකම,
මේ පුංචි මිටියාවත,
මෙතැනම තියේවි !!
නුඹ ආයේ ඒවි ,
මමත් ආයේ ඒවි,
මිටියාවතට අප මතක තියේවි ,
එත් අපට මිටියාවත අමුත්තෙක්ම වේවි"

ඒ තාලය අමුතුයි කියලා කියන්න හේතුව උනේ මුල් කොටසේ පිරුණු සතුට ක්‍රමයෙන් නැතිවෙලා ගිහින් අවසානෙයේ බොහොම ආගන්තුක තාලයකට  පෙරළෙන නිසා කියලයි මට හිතුනේ. දැන් නම් වටපිටාව බොහොම සාමකාමීයි. ඒත් මගේ හිත ඇතුලේ කුණාටුවක්. හැමදේම හැමතැනම විසිරිලා. මට සිද්ද වෙන්න යනදේ මටවත් හිතාගන්න බෑ . මගේ දවස සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා.

"වෙනස්වෙන්න බය වෙන්න එපා සාෂෙන්කා.....නුඹට පුළුවන්. හිත හයිය කරගෙන අපි කොහොම හරි මේ ගමන යන්න ඕන. නුඹේ හිතේ ඉන්න සොහොන් පල්ලන්ට හාමතේ මැරෙන්න ඉඩ දෙන්න" හිත හැමදාම වගේ මට උපදෙස් දෙන්න පටන් ගත්තා.


මට ටිකක් හරි සැනසීමක් දැනෙනවා නම් දැනෙන්න නුඹට මේ ලියන ටිකේ විතරමයි තාන්යා. වැස්ස හැමදෙයක්ම හෝදගෙන ගිහින්ද ?? නැත්නම් වළලපු දේවල් කොහොමද ආයෙම මතුවෙන්නේ ???  ව්ලැදිවොස්ටොක් වලට තව බොහොම දුර බව කපිතාන් වසිලියෙව් මට කිව්වා. ඒ වෙනකන්ම මට දකින්න වෙන්නේ මහ මූදත් අහසත් විතරමයි. අහන්න වෙන්නේ  හෝ හෝ හඬ විතරමයි. මිටියාවතේ බොහොම දේ දැකපු පිටිසර කෙල්ලකට මේ හැමදෙයක්ම නුපුරුදුයි. මම මේ දේවල් එක්ක ඉන්න බලෙන් හැඩගැහෙන්න හදනවා. ඒත් යටගියාව මට තවමත් වද දෙනවා. මේ වෙලාවට මට හිතෙනවා සුරංගනා කතාවල වගේ  රිදී පීරිසියකට මතුරලා ලෝකේ තියෙන හැම ලස්සන දෙයක්ම බලන්න පුළුවන් උනා නම් කොපමණ හොඳද කියලා. ඒත් මාෂෙන්කාට වගේ එහෙම කරන්න හැකියාවක් මට නෑ .

ඒ කොහොම වෙතත් ව්ලැදිවොස්ටොක් කියන්නේ මගේ ගමනාන්තය නොවෙයි තාන්යා. එය තවත් ගමනක ඇරඹුමක්. එතනින් එහාට මම තව බොහොම දුර යන්න හිතාගෙන ඉවරයි. අවසරයි ෆීනික්ස් කිරිල්ලීට අදට නැවතුම් තිත තියන්නට. නුඹ ඩර්බිෂයරයට ගිය වහාම මට ලියන්න.

ආදරෙන් ,

~සාෂා~

 

 






Sunday, July 10, 2016

|| තාන්යාට ලියමි 5 - (සාෂෙන්කා වැන්යුෂින්) ||


ආදරණිය තාන්යා,

නුඹ එවූ ලියමන මට ඊයේ රෑ ලැබුනා තාන්යා. ඒ ලියුම කියවා මම දුකට පත්වුනාද නැතිනම් පුදුමයට පත්වුනාද එහෙමත් නැතිනම් සතුටට පත් වුනාද කියල හිතාගන්න මට බෑ. නුඹේ හිත එක තැනක නැතුවා වගෙයි !! නුඹ නිකොලායිට වෛර කිරීම කොපමණ දුරකට සාධාරණද කියලා මට කියන්න බෑ. ඒත් එය සම්පූර්ණයෙන්ම අසාධාරණයි කියල කියන්න බැරි වග විතරක් මම දන්නවා. නිකොලායි නුඹ සොයා ආවා මිසක් නුඹ නිකොලායි සොයා ගියේ නෑ තාන්යා. 


නුඹ දුක් වෙන්න එපා. නුඹ මට පියාසර කරන්න කියලා දුන්නා. මේ මගේ වාරය බව අමතක කරන්න එපා. නුඹේ හිතේ ඇවිලෙන ගින්න නිවාගන්න තාන්යා. ඒ ගින්නෙන් නැගෙන කළු දුමත් මීදුමත් පටලවාගන්න එපා. නුඹේ හිත පුරාම පැතිරෙන්න අරන් තියෙන්නේ දුකෙන් හටගත් ගින්නෙන් ඉපදුන වෛරයේ හෙවනැල්ලක්. ඒ හෙවනැලි යක්ෂයා පෝෂණය වෙන්නේ ඉර එලිය වැඩිපුරම ඇති මතක නුඹට මතක් කරලා දීලා අර දුක නිසා ඇවිලෙන ගින්න තව තවත් අවුලලා.හිතන්න තාන්යා !! හිතන්න !! ඇති තරම් වෙලා අරගෙන හිතන්න. හැඟීම් වලට යටත් වෙන්න එපා. බුද්ධියට නුඹව මෙහෙයවන්න ඉඩ දෙන්න !! නුඹට වැටෙන්න බෑ තාන්යා. මටත් වඩා එහා ගිය ඉලක්කයකට නුඹ යන්න ඕන. මුළු ලෝකයක්ම සුවපත් කරන්න ඉන්න නුඹට අකාලයේ ගිලන් වෙන්න බෑ තාන්යා. එහෙම උනොත් නිකොලායි දිනනවා. 

මම පාව්කාට වෛර කරන්නේ නෑ . තවමත් මුළු හිතින්ම ආලය කරනවා. පාව්කාට වෛර කරනවා කියන්නේ මම මටම වෛර කරනවා වගේ වැඩක්. ඒ රූපය හැමදාමත් මගේ හිතේ තියේවි......ඒත් කවුරුවත් එය නොදකිවී ...... කාටවත් ඒ ශෝකාලාපය නෑසේවි. අපිට ඒ හැමදෙයක්ම හිත පතුලේ තදකරගෙන ඒ  එක්කම ලෝකෙට පේන්න හිනාවෙලා ජිවත් වෙන්න වෙනවා තාන්යා. එක තමයි ඇත්ත. 

නුඹ උවමනාවට වඩා කියෙව්වා කියල හිතන්න එපා මගේ පුංචි කෙල්ලේ !! හිතට එන ඕනෑම දෙයක් මට කියන්න. මම අහන් ඉන්න සුදානම්. ෆිට්ස්විලියම් ඩාර්සිට ආලය නොකළ කෙල්ලක් මේ මිහිපිට ඉන්නවාද මට සැකයි තාන්යා !! ඩර්බිශයරයේ ජීවිතය සතුටින් ගෙවන්න. මම නුඹට ආශිර්වාද කරනවා !! නුඹ කීවා වගේ අමුත්තන් සමග කතාබහ නොකර සිටීම මට පහසුවක්. ඔවුන් මගෙන් මිටියාවත ගැන ප්‍රශ්න කරනවාට මම බොහොම බයයි. ඒත් කපිතාන් වසිලියෙව් නම් දවසට වචනයක් හෝ දෙකක් කතා කරනවාමයි. ඔහු කියන දේ ඇතුලේ හිතන්න ගොඩක් දේ තියනවා තාන්යා. මොහොතක් ඉන්න !!

"සුභ උදෑසනක් වැන්යුෂින් මෙනවිය"

"සුභ උදෑසනක් කපිතාන්"

"අදත් උදේම ලියන්න පටන්  අරන් වගෙයි!!"

"අද ලියන්නේ මගේ මිතුරියකට.....තාන්යාට."

"එහෙමද ?? ඈ නුඹට බොහොම වැදගත් කෙනෙක් බව හිතාගන්න අපහසු නෑ. නුඹ ලියද්දි නුඹේ මුහුණෙන් මතුවන ඉරියව් වලින්ම එය කිව්වැකි"

"හ්ම්.....ඈ මට විශේෂයි. මොකද ඈත් මම වගේම නිසා. වෙනසකට තියෙන්නේ ඈ යන්නේ යුරෝපයට.මම යන තැනක් ගැන අදහසක් මට නෑ"

"ව්ලැදිවොස්ටොක් වලින් එහාට යන තැනක් නෑ එතකොට ??"

"නෑ" මම ඈත බලාගෙන කිව්වා. එදා ඉඳන්ම ඇස් දිහා බලන් කතා කරන්න සාෂෙන්කා බොහොම බයයි. මට මතක් උනේ මම පාව්කාගේ ඇස් දිහා හොරෙන් බලන් ඉන්න හැටි. ඔහු නොබලන තාක් මට ඕනෑතරම් වෙලා ඒ දිහා බලාන ඉන්න පුළුවන්. මගේ හිත යන්න ඕන නැති අතක දුවනවා. මම බොහොම කලබලෙන් ආපහු නැව් තට්ටුව උඩට ආවා.

"මට සමාවෙන්න. මම ටිකක් කලබලෙන්. පහුගිය දවස් වල මට මූණ දෙන්න සිද්ද උන දේවල් එක්ක මම නිතරම හිටපු තැනටම ආයේ යනවා. කොච්චර උත්සාහ කලත් මට මිටියාවතෙන් හිත අහකට ගන්න බෑ " මම කිව්වා.

"වැන්යුෂින් මෙනවිය, නුඹ දන්නවාද ?? වීදුරු ලෝකවල ඉන්නතාක් අපිට බාහිර ලෝකේ ගැන කිසි අවබෝධයක් නෑ. ඒ ලෝකෙන් එලියට ආවාම අපිට හිතෙන්නේ අපි අපායට ඇදගෙන වැටිලා කියලා. එහෙම හිතෙන්නේ අපි හිතන්නෙවත් නැති වෙලාවක අර ලස්සන දිලිසෙන වීදුරු බිත්තිය අපි ඉස්සරහ පිටම කෑලි කෑලි වලට කුඩු වෙලා බිමට වැටුනම විතරයි. අපි කැමැත්තෙන් ඒ වීදුරු ලෝකෙන් එලියට ආවම ඇත්ත මොකද්ද කියල තේරුම් ගන්න එක හරි පහසුයි. අනිත් අතට ඒ ලෝකේ කොයිමහරි වෙලාවක බිමට ඇදගෙන වැටෙන්න පුළුවන් කියල සිහියෙ තියන් හිටියොත් එක පාරටම අපායට ඇදගෙන වැටෙන්නේ නෑ"

"ඇත්ත.....ඒත් අපි ඉන්නේ වීදුරු ලෝකයක කියල තේරුම් යන්නේ බිත්ති ඉරි තලන්න පටන් ගත්තහමයි. එහෙම නේද ??"

"බොහොමයක් වෙලාවට එහෙම තමයි. තේරුම් ගැනීම තමයි වැදගත්. මේ සංවාදය නතර කළ යුත්තේ මෙතැන නොවෙයි. ඒත් කළ යුතු වැඩ බොහොමයි මෙනවිය. කතා කිරීමට ලැබීම සතුටක්. නැවත හමුවෙමු"

"සුබ දවසක් ඔබට" මම කපිතාන් වසිලියෙව් ට සමුදුන්නා.

කපිතාන් බොහොම දැනුම් තේරුම් ඇති කෙනෙකු බව මට වැටහුනා. ඔහු කිව්වත් වගේ මගේ වීදුරු ලෝකය ඇතුලේ මම බැලූ බැලූ අත දැක්කේ පාව්කාම පමණයි. ඇසුණේ පාව්කාගේ කන්කළු බැලලයිකා වැයුම් ම පමණයි. රැඟුවේ මෂූර්කා නැටුම්ම පමණයි. ඊට එහා ලෝකයක් මට තිබුණේ නෑ. නුඹේ ලෝකයේ  නුඹ දැක්කේ නිකොලායිම පමණයි. නුඹ කොප්ලාවක් ගොතා ගැයුවේ නිකොලායිගේ ෆ්ලැමෙන්කෝ වැයුමටම පමණයි. අප දෙදෙනාම වීදුරු ලෝකවලින් වැටුනේ අපායකට.

කාලය ගත වෙනවා තාන්යා. මට මෙන්ම නුඹටද වෙහෙසයි. ඒත් දැන් නැවතුනොත් අපිට හැමදාමත් නැවතිලා ඉන්න වේවි. 


අද අහස වෙනවා වගෙත් නෙවෙයි. හරිම අමුතුයි. මට හිතෙන්නේ තව හවස් වෙද්දී මේ පෙනුම මීටත් වඩා වෙනස් වෙයි. වැස්සක් නම් වැටෙන්න එපා කියලා මම ප්‍රර්ථනා කරනවා. කුනාටුවකට පෙර මූද හරිම නිශ්චලයි කියනවා නොවේද තාන්යා ?? නුඹ පරිස්සමෙන් ඉන්න. කළු හෙවනැලි වලට නතුවෙන්න එපා. නුඹ ෆීනික්ස් කිරිල්ලක් බවත් අමතක කරන්න එපා.

නුඹට ආදරෙන්,

නුඹේ රුසියන් බෝනික්කි,


~සාෂා~

 

 




Saturday, July 9, 2016

|| තාන්යාට ලියමි 4 - (සාෂෙන්කා වැන්යුෂින්) ||


ආදරණිය තාන්යා,

අද මම තරමක් පාන්දරින්ම නැව් තට්ටුවට ගොඩ වුනා. ඊයේ මුළු දවසමත්, පෙරේදා මුළු දවසමත් මම ගත කළේ පොත් කියවන්නයි තාන්යා. මිටියාවතෙන් හිත අහකට ගන්න හොඳම ක්‍රමය ඒක කියලයි මට හිතුනේ. ඒත් මම අරගෙන ඇවිත් තිබුණේ පොත් හතරක් පමණයි. ඒ පොත් හතර කියවලා ඉවර උනාම මම ආයෙමත් හුදෙකලාවේ අතරමං වුණා. තනියට හිටි පෑනත්, සුදු කොළ ටිකත් අරගෙන මම නව තට්ටුවට ගොඩ වුනේ ඒ නිසයි.


වෙන හැම දවසකම වගේම අදත් අහස හරිම ලස්සනයි. ඒත් වෙනදා තරම් වලාකුළු නෑ. අද අහස බොහොම ලස්සන නිල් පලසක් වගෙයි තාන්යා. අතරින් පතර තිබුණු වලාකුලක් හැරෙන්නට වෙන කිසිම දෙයක් අහසේ තිබුණේ නෑ . ඇත්තටම අහස බොහොම ලස්සන සේද පලසක් වගෙයි. බොහොම පරෙස්සමෙන් ගෙත්තම් කළ වටිනා නිල් පලසක් වගෙයි. මට මතක් උනේ ලස්සන වසිලීස්සා ගෙත්තම් කල සේද රෙද්දයි තාන්යා. මම පුංචි දැරිවියක් කාලේ බොහොම ආසාවෙන් කියවපු ඒ පොතේ වසිලීස්සා ගෙත්තම් කල සේද රෙද්ද මම හිතේ මවාගත්තෙත් මේ විදියටමයි. පුදුම වෙන්න දෙයක් නෑ. සාෂෙන්කා හැමදාමත් වඩාත්ම ආස කළේ නිල් පාටටයි. ඒ නිසා ඈ අහසක් වගේ ලස්සන සිනිදු සේද රෙද්දක් හිතේ මවා ගැනීම අමුතු දෙයක් නොවෙයි.

මුහුදු හුළං වල හෝ හඬ නොවෙන්නට වට පිටාව බොහොම නිස්කලංක වෙන්නට ඉඩ තිබුනා. ඒත් ඒ හෝ හඬ අහන්න මම ආසා කළා. ඒ හෝ හඬේ මුසු වෙලා තිබුණේ බොහොම ආදරෙන් මුමුණපු පණිවිඩ ගොඩක්. ගොඩබිමෙන් අරං ආපු ඒ පණිවිඩ අදාළ අයට බෙදා දෙන්න හුළඟට තිබුණේ පුදුම උනන්දුවක් කියලයි  කියලයි මට හිතුණේ. මම පළමුදා වගේම අදත් නැව් තට්ටුවේ හිඳගත්තේ එකම තැනකයි. මුළු දවස පුරාවටම එතනට ඉර අව්ව වැටුණේ බොහොම අඩුවෙන්. තරමක් දවල් වෙනකොට නම් ඉර අව්ව හදන්නේ මාව ආයෙම ඇතුලට එළවගන්නමයි. ඒත් සාෂා ඉරට අවනත උනේ නෑ ........ඈ අතේ ඇති සුදු කොළවල තවදුරටත් හිස් තැන් නැතිවෙන තෙක්ම ඈ නැව් තට්ටුව මතම රැඳී හිටියා. නැවේ තව බොහොම අය හිටියා තාන්යා. ඒත් ඒ කවුරුන්ද කොහෙන් ආවාද යන කිසිම දෙයක් මම තවම දන්නේ නෑ. ඒ කිසිම කෙනෙක් එක්ක මගේ කතාවක් නෑ. සිනහවකින් පමණක් ඔවුන්ට සංග්‍රහ කිරීමට මම වග බලාගත්තා.

නැවේ කපිතාන් සමග නම් මට වචනයක් දෙකක් හුවමාරු කරගන්න ලැබුණේ මීට ටික වෙලාවකට කලින්. ඔහු රාජකාරිය දේවකාරිය කරගත් කෙනක් බව මට බැලු බැල්මට පෙනුනා. දෙකොන ඉහලට කරකැවූ උඩු රැවුල ඔහුට ලබා දී තිබුණේ වඩාත් ගාම්භීර පෙනුමක්. බොහොම පිළිවෙලට පැත්තට පීරා තිබුන කොණ්ඩය මම පළමු වරට දැකගත්තේ ඔහු හිස්වැස්ම අතට අවස්තාවේදියි.

"සුභ උදෑසනක් මෙනවිය. මම සර්ගෙයි වසිලියෙව්. නැවේ කපිතාන්" ඔහු බොහොම නිවුණු, එහෙත් තේජස් හඬකින් කිව්වා.

"සුභ උදෑසනක්. මම සාෂෙන්කා......සාෂෙන්කා වැන්යුෂින්"

"මම බලාගෙනයි හිටියේ .....පලමුදාත් නව තට්ටුව උඩට වෙලා බොහොම බර කල්පනාවක. ඊට පස්සේ මොනවාදෝ ලියනවත් මම බලාගෙනයි"

"මම ලියන්න කැමතියි. කවි ලිවිල්ල දැන් පුරුද්දට ගිහින්. මූද දිහාවත් අහස දිහාවත් බලාන හිටියට මට එපා වෙන්නේ නැති හැඩයි" මම කිව්වා.

"නුඹ එහෙනම් තවම කුණාටුවක් දැකලා නෑ වගෙයි" ඔහු හිනාවෙමින් කිව්වා.

"නෑ ...මම දැකලා නෑ "

"එහෙම දැක්ක දවසක හිතේවි මේ දකින්නේ මායාවක් කියලා" ඔහු බොහොම බැරෑරුම් කමක් මුහුණේ රඳවාගෙන කිව්වා.

"හ්ම්....ඒ කියන්නේ මූදත් හරියට යමහලක් වගේමයි" මම හරිම බිඳුණු හඬකින් කිව්වා.

"ඔව්. අපි වටේට තියන බොහොමයක් දේ එහෙමයි වැන්යුෂින් මෙනවිය. මේ පෙනෙන දේට එහා ගිය යමක් තියනවා. අවස්ථාව අනුව අපිට පෙනෙන හැටි වෙනස් වෙනවා. බුද්ධිමත් නොවුනොත් බොහොම වෙලාවට අපි රැවටෙනවා. හරියටම කිව්වොත් අපි බොහොමයක් වෙලාවට දකින්නේ අපිට දකින්න ඕන දේ මිසක් ඇත්ත නෙවෙයි."

ඒ වෙලාවේ මට හිතුනේ මම මේ කතා කරන්නේ මීෂා එක්ක කියලයි තාන්යා. වචන වෙනස් වුනත් මේ කතාව මට මුලින්ම මේ විදියට කිව්වේ මීෂා. බලන්න තාන්යා !! මම ආයෙම ගිහින් නතර උනේ මම අමතක කරන්න හදන පුංචි මිටියාවතේමයි.

"ඔබ ආයෙමත් කල්පනාවක වගෙයි !" කපිතාන් වසිලියෙව් හඬ අවදි කළා.

"ආහ්හ්....නෑ. ඒ කතාවේ හිතන්න දෙයක් තියනවා. ඒ ගැනයි මම හිතුවේ. හොඳ යමක් ලියන්න පුළුවන් වෙයි ඒ ඔස්සේ. ස්තුතියි ඔබට කපිතාන්" මම බොහොම පරෙස්සමෙන් තෝරාගත් වචන කිහිපයක් කිව්වා.

"ඒක සුළු දෙයක්. හඳුනා ගැනීම සතුටක්. සුබ දවසක් ඔබට"

"සුබ දවසක් කපිතාන් වසිලියෙව්" මම කිව්වා.

මේ නැවේදී තවෙකෙක් සමග කතා කිරීමට මම හඬ අවදි කල පළමු වතාව එයයි තාන්යා. ආයෙමත් මම ලියන්න පටන් ගත්තා. කපිතාන් සමග කතා කල වචන කිහිපය මගේ ලියවිල්ල වෙනමම අතකට රැගෙන ගියා. වෙනදා වගේ මගේ දුක ලියන්න මට උවමනාවක් තිබුනේ  නෑ කියලයි මට හිතුනේ. කලින් අහපු වචන මගේ හිතේ දෝංකාර දෙන්න පටන් අරන්. ඒ වචන මගේ හිත වෙනමම අතක අරන් යන්න පටන් අරන්.


ඇත්තටම මම දැකපු දේ ඇත්ත නෙවෙයිද  තාන්යා !! මම දැක්කේ මට දකින්න ඕන දේද එතකොට ?? මට හරිම ප්‍රශ්නයක්. මේ හැමදේම හරියට නිකන් නිල් පාට රෝස මල් වගෙයි තාන්යා. ඒවා තියෙන්නේ සුරංගනා කතා වල විතරයි. අපි රැවටිලා...... නිල් පාට රෝස මල් වලට ආදරේ කරලා වැඩක් නෑ. පාට ගාලා නිල්පාට කරපු රෝස මලකුයි ඇත්ත රෝස මලකුයි හරි වෙනස් තාන්යා. ආසාව නිසා පාට කරපු නිල් රෝස මලක් අරන් ළඟ තියාගෙන හිටියට කවදා හරි දවසක ඒ මලේ ඇත්ත පාට අපිට පේන්න ගන්නවා. එදාට අපි බොහොම දුක් වෙලා වැළපෙනවා.

නිල් පාට රෝස මල් - නොපිපේවි පඳුරු වල
පින්තාරු වී හෙමින්  - පෙන්නාවි මුහුණ මට
දැන දැනත් නොපිපෙනා - බව එ මල් පඳුරු පිට
පෙම් බඳිමි නිල් මලේ  - දැක ඔබේ රුව යසට
රැඳෙන ලෙස පිනි බිංදු - සිනිදු පෙති මතුපිටින්
රැඳෙමි මම ඔබ ලඟින්  - පෙම් පිරුණු හදවතින්
පින්තාරු වී ඇවිත්  - මටත් කාටත් හොරෙන්
ඇයිද නුඹ රැවටුවේ  - සඟවමින් වත නොනිල්
අතැර මට පුරුදු බිම - ලොබ බැඳන් නිල් මලට
නොදැන එහි නොනිල් වත - රැවටුනෙමි මිරිඟුවට
දනිමි දැන් නොනිල් වග  - පිපුණු නිල් රෝස මල
ඒත් නෑ සිඳෙන්නේ  - ආදරේ සුනිල ගඟ

හිතන්න දේ බොහොමයි තාන්යා. නුඹට මට වඩා බොහොම දේ තේරෙනවා. අරමුණක් හොයාගෙන යන මේ ගමනේ ආරම්භය විතරයි මේ. තව ඉස්සරහට මට නොතේරුණු බොහොම දේ මට තේරුම් යාවි. කාලයත් එක්ක මම වෙනස් කෙනෙක් වේවි. ඒත් පව්ලූෂා මිකායෙව් ට මුළු හදවතින්ම ආලය කළ සාෂෙන්කා වැන්යුෂින් හැමදාමත් ලෝකයාට නොපෙනෙන්න මාත් එක්කම ඉතුරු වේවි.

නුඹෙන් පිළිතුරක් ලැබෙන තෙක් මම මග බලාගෙන, 


ආදරෙන් ,

~සාෂා~

 

 

Wednesday, July 6, 2016

|| තාන්යාට ලියමි 3 - (සාෂෙන්කා වැන්යුෂින්) ||


ආදරණිය තාන්යා,

මිටියාවතට සමුදීලා අදට දවස් පහක්. දැන් මම මිටියාවතෙන් බොහොම ඈතට ගිහින්. ඊයෙ දවසම මම ගත කළේ මගේ හිත තැන්පත් කරගන්නයි. මට නුපුරුදු වටපිටාවකට හැඩගැහෙන්න වෙලා. මොකද්දෝ අවිවේකි මෙන්ම නොසන්සුන් බවක් මාව හිරකරන් කියලයි මට දැනුනේ. මම ආදරය කරපු - මට සුපුරුදු හැම දේකින්ම බලෙන්ම සමු අරගෙන බොහොම දුර ගමනක් යන්න පිටත් වීම මෙතරම්ම  වේදනාකාරී වීම මම බලාපොරොත්තු නූන දෙයක් නොවෙයි. ඒත්  තාන්යා........මට තේරෙන්නේ නෑ........මට දැනෙන දේ ලියාගන්න මට බෑ. ඊයේ දවසේම විටින් විට මම බොහොම උත්සාහ කළා නුඹට ලියන්නට. ඒත් මම මටම අවනත නොවීම නිසා සුදු කොලය අද වෙනකන්ම හිස්ව තිබුණා.

නුඹේ කීම සිහිවෙලා දැන් පැය කීපයකට කලින් මම නැව් තට්ටුවට ගොඩවුනා තාන්යා. නුඹේ ලියමන අතේ තියාගෙන මම හෙමිහිට වට පිට බැලුවා. වටේටම ඉමක් නොපෙනෙන මහ මූද. අහස මගේ දිහා බලන් ඉන්නවා කියලයි මට හිතුනේ. පුළුන් කැටි වගේ වළාකුළු දකිනකොට මට මතක් උනේ මම බොහොම කුඩා දරුවෙක් කාලේ අහසේ තියන වලාකුළු වල හැඩේට ගැලපෙන්න නම් දාපු හැටි !! මගේ මුහුණේ මම නොදැනුවත්වම පුංචි හිනාවක් ඇඳිලා තාන්යා !! නැව් තට්ටුවේ හිටි අනිත් දෙදෙනා පෙරළා හිනා නොවෙන්නට මට මගේ හිනාව ගැන නොතේරෙන්නත් ඉඩ තිබුණා. බොහොම කාලෙකට පස්සේ මම හිනාවුණා තාන්යා !!

අහසත් මහ මූදත් යන දෙකම හරිම ලස්සන නිල් පාටකින් හැඩවෙලා. වඩාත් ලස්සන මුහුදේ නිල් පාටද එහෙමත් නැතිනම් අහසේ නිල් පාටද කියලා හිතාගන්න මට බෑ. ඒ තරමට ඒ පාට දෙකම ලස්සනයි. සාෂෙන්කා කවදත් වඩාත්ම ආස කළේ නිල් පාටටයි. ඒ නිසා මට මූදෙන් ඇස් අහකට ගන්න බැරුව ගියා. මම කොපමණ වෙලා ඒ දිහා බලන් හිටියාද කියන්න මම දන්නේ නෑ තාන්යා. ඒත් එක පාරටම විදුලියක් වගේ වේගෙන් මගේ හිත හරහා යමක් දුවගෙන ගියා. "යමක්" කියල කිව්වට ඒ මොකද්ද කියල හිතාගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ . පාව්කාගේ නිල් කොටු කමිසය !! අනේ තාන්යා !! මිටියාවත බොහොම ඈතයි , පාව්කා ඊටත් වඩා බොහොම ඈතයි !! මගේ හිත තවමත් මිටියාවතටම යන්න හදනවා. ඊයේ දවස තිස්සෙම මට දැනුන නොසන්සුන් කම මේකයි එහෙනම් !!

"අපොයි සාෂෙන්කා !! නුඹ නැව් තට්ටුවට ගොඩ වෙලා කරගත්තු හරියක් !! මම හිතුවාටත් වඩා නුඹ බොහොම දුර්වලයි. මම දන්නවා .....මම නුඹට බොහොම වද දෙනවා. ඒ නුඹ එක්ක අමනාපයෙන් නොවෙයි. නුඹේ හදවත ඉස්සර උනාම නුඹට බොහොම රිදෙනවා සාෂෙන්කා !! නුඹ බුද්ධියට වඩා හැඟීම් වලට වහල් වෙලා. මට ඒකට නුඹට දොස් කියන්න බෑ. ඒ මනුස්ස ගතිය. ඒත් එකම එක පාරක් මට නුඹ මෙහෙයවන්න ඉඩ දෙන්න. නුඹට වැඩක් මිසක් අවැඩක් වෙන්නේ නෑ" බොහොම දවසක් මට කතා නොකළ මගේ කුළුපග මිත්‍රයා මට කිව්වා. ඒත් තාන්යා මම තවමත් හරියට හුළඟට හෙලවෙන ඉටිපන්දම් දැල්ලක් වගේ. ගතින් මම නැව් තට්ටුවේ හිටියත් හිතින් මම ජිවත් වෙන්නේ අතහැරලා ආපු පුංචි මිටියාවතේ.

"නුඹ දැන් නිදාගනින්. රෑට නැති නුවණ උදේට පහළ වෙනවා" මර්යූශ්කා අන්ද්රේ දුනුවායාට කිව්වේ එහෙමයි. ඒත් ඒ සුරංගනා කතා පොතක තාන්යා. මට තව රෑ සියයක් එළි උනත් පුංචි මිටියාවතත් පාව්කාත් හිතේ ඈත මුල්ලකට තල්ලු කරලා දාන්න බැරිවේවි කියලා මට සැකයි තාන්යා. ඉර එළිය හොඳට තිබුණත් මේ හුළං පාරට මට තරමක සීතලක් දැනෙනවා. මම ගයන්න පටන් ගත්තා. බොහොම සෙමෙන් මම ගැයුවා. ෆීනික්ස් හදවත තරමක් සුවපත් වෙනතෙක්ම මම ගැයුවා තාන්යා. පාව්කා බැලලයිකාව වයනවා හිතින් මවාගෙන මම ගයන්න පටන් ගත්තා.

"නිම්තෙර තව දුරැයි දැන
කිමද තවමත් මෙතැනම
දන්නවා සමුදෙන්න වන වග
ඔබට මට නොපමාව 
දැන දැනත් යා යුතුම වග
ඇයිද මේ තුරුල්ලෙම
දුක තවත් වැඩි නොවෙද
මෙය නොවේ ඔබේ නැවතුම
යන්න දැන්වත් අතැර
අඳුර රජයන්න පෙර
තවත් නෑ අමනාප
ආයේ මෙහි නාවාට........"

ඒ තාලය බොහොම ශෝකී තාලයක් තාන්යා. මගේ තනිය මකන්න වගේ  උණුසුම් කඳුළු බින්දු එක දිගටම කම්මුල් දිගේ පහලට රූටනවා මට දැනුනා. එත් මම දිගටම ගැයුවා. නුඹ කිව්වා වගේ මූදු හුළං වලට මගේ ඇස් වල තෙතමනය වියළන්න දී මම දිගටම ගැයුවා. නුඹේ ලියමන අතේ ගුලි කරගෙන මම දවසම නැව් තට්ටුවට වෙලා ඈත බලාන හිටියා. අවසානයේ මම නුඹට ලියන්න ඕන දේ හොයාගත්තා. අද දවසත් තවත් එක දවසක් විතරයි තාන්යා. මට තව යන්න දුර බොහොමයි. හැම දේම වෙන්නේ හේතුවක් ඇතුව බව

මට දැන් තේරෙනවා. අරමුණක් නැති ජීවිතයකින් පලක් නෑ තාන්යා. මගේ අරමුණ මම විසින්ම සොයාගත යුතුව තිබෙනවා. පහු ගිය දේට ඇලී ඉන්නකන් හැමදාම මට එක තැන ඉන්න වෙනවා කියලා නුඹ පුන පුනා ලියනවා නේද තාන්යා ? අද මට ඒ දේ හොඳටම දැනුනා !! ගතින් මහ මූද මැද හිටියත්  හිතින් තවමත් මම මිටියාවතේ !! මා වෙනස් කල හැක්කේ මටම පමණක් බව තේරුම් ගන්නට උදව් කලාට නුඹට බොහොම ස්තුතියි තාන්යා. අදට නවතින්නම්. නැවත ලියන තුරු ,

ආදරෙන්,


~සාෂා~



Saturday, July 2, 2016

|| තාන්යාට ලියමි 2 - (සාෂෙන්කා වැන්යුෂින්) ||


ආදරණිය තාන්යා,

නුඹ මට හමුවෙන්නේ අහම්බෙන්. ඒත් නුඹට මගේ සමීපතම මිතුරියක් වෙන්න ගතවුනේ බොහොම ටික කාලයයි.දිනපොතේ නුඹ ගැන වචනයක් ලියන්න කලින්ම මට මිටියාවත දාලා ආපහු එන්න සිද්ද උනා. දිනපොත තවමත් ඊටඋරුම තැන මග බලාගෙන ඉන්නවා ඇති. මට එය රැගෙන යන්නට හැකිවුනා නම් !!! අනේ තාන්යා !! මට එය රැගෙන යන්නට එපා කීවේ නුඹ නොවේද ??

"මිටියාවතට අයිති දේ මිටියාවතේම තියල එන්න මගේ පුංචි රුසියන් බෝනික්කි" නුඹ කිව්වේ මට බොහොම ආදරෙන්.

සාෂාට ඒ කීම අහක දාන්න බැරුව ගියා. ඒ නිසා සාෂා වඩාත්ම ආදරය කළ වස්තුවක් මිටියාවතට තෑගි කළා. පව්ලූෂාමිකායෙව්ට මෙන්ම දිනපොතට ද මිටියාවතටද  ඈ සමුදුන්නා.

නුඹ බොහොම නුවණැත්තියක් තාන්යා. නුඹ මට ලියා එව්වේ නැව පළමුදා පිටත් වන වගක් නොවේද ?? නුඹ එහෙමකලේ මට කල් දෙන්නයි. එහෙම නේද ?? නුඹ එහෙම කලේ, මට මගේ හිත ඒ  පුංචි මිටියාවතෙන් ගලවා ගන්න ඇතිතරම් කල් ලබාදෙන්නයි  කියලා සාෂෙන්කාට දැන් තේරෙනවා. මගේ හිත හරියට මිටියාවතේ තියන බොහොම උසපොප්ලර් ගහක් වගේ. එහි මුල් බොහොම ගැඹුරටම විහිදී ගිහින්. ඒත් මම කොහොමින් හරි මේ මිටියාවතට සමුදියයුතුමයි . අමාරුයි !! සාෂාගේ හිතට බොහොම අමාරුයි !! ඒත් එහෙම නොකලොත් ඇගේ පාරදීසයටත් කළු අසරුවාඇතුල්වන බව ඈට සහතිකයි. නුඹ බොහොම කල් ඉඳන් මට ආයාචනා කරනවා තාන්යා !! නුඹේ කීම පිළිගෙන නැව්නගින්නයි මේ සූදානම !!  ඒත් මගේ හිත නතු කරගන්න එක තවමත් මට ප්‍රශ්නයක්.

මිටියාවතෙන් පිටත් වෙද්දී මට ආයුබෝවන් කියන්න ඉතුරු වෙලා හිටියේ ලුද්මිලාත් මීෂාත් පමණයි. ඔවුන්ගෙන්සමුගන්න එක මට හිතූ තරම් පහසු නොවුනත්, මම කොහොමහරි මිටියාවත දාලා නැව් නගින්න හිතාගෙන දැන්බොහොම දුරක් ඇවිත් ඉවරයි. මට ආපහු යන්න පුළුවන්. මම දන්නවා. ඒත් මම එහෙම කළොත් නුඹ තියා මම මටවත්සමාව දෙන එකක් නැතිවෙයි. බොහොම අමාරුවෙන් උනත් අන්තිමට මම නැවට ගොඩවෙන්න හිතා ගත්තා. ඒ මට මමගැනම ඇතිවූ අනුකම්පාවෙන්ද නැතිනම් මට ඇත්තට මුහුණ දෙන්න බැරි කමටද කියන්න මම දන්නේ නෑ . ඒත් මහ මූද දිහා බලනවාට වඩා මගේ ඇස් ආසා කළේ මම ආ මග දිහාම බලා ඉන්නයි.

"නුඹ නම් මහා මෝඩියක් සාෂෙන්කා !!! අර තරම් ලස්සන මහ සාගරේ දිහා වෙනුවට වෙනකොහෙදෝ බලන් ඉන්න හැටි !! රෝස කටු උනත්, කටු කටුමයි !! ඇනුනොත් රිදෙනවා" හැමදාම වගේ මගේ හිත මට නොසෑහෙන්න දොස් කියන්න පටන්ගත්තා.

ඒ මෝඩකම නෙවෙයි නේද තාන්යා ?? මම නම් ඒකට කියන්නේ "බලාපොරොත්තුව" කියලා. ගොඩක් මිනිස්සු ජිවත්වෙන්නේ බලාපොරොත්තු මත කියල මට හිතෙනවා. අන්න ඒ වගේ තවත් කෙනෙක් මමත්. පාව්කා මට සමුදෙන්නවත්ඒවි කියලා මම බලාපොරොත්තු උනා. ඒත් මේ වෙනකන්ම පාව්කා ආවේ නෑ. පාව්කා ආවා නම් සමුගැන්ම තවත්බොහොම අමාරුවනවා නේද කියලා මට හිතෙනවා. ඒත් එකම එක පාරක් ඒ ඇස් දකින්න තිබුණා නම් !!!

"ගිය දේ ගියා" නුඹ මට හැම නිතරම කිවේ එහෙමයි තාන්යා. ඒත් ඔය කාරණේ අකීකරු හිතකට ඒත්තු ගන්නන්න හරිඅමාරුයි. තාමත් මට වෙන අතක් දිහා බලන්න හිතක් නෑ . සමහරවිට ගොඩබිමක් කියලා නාමයක් පෙන්නේ නැතුවගියාම නුඹ බොහොම වර්ණනා කරන මුහුද දිහා බලන්න මට හිතේවි. ඒත් තවමත් මට බැලූ බැලූ හැම අතේම පේන්නේපව්ලූෂා මිකායෙව් - මගේ ආදරණිය යමහලත්, පුංචි මිටියාවතත් විතරයි.

අදට මම නවතින්නම් තාන්යා. තව කොපමණ ලිව්වත් ලියැවෙන්නේ මිටියාවතත් පාව්කා ගැනත් පමණයි. තවම මම එකම තැන !! නැවත ලියන තෙක්,  ආදරයෙන්,


~සාෂා~

 

 

Friday, July 1, 2016

 || තාන්යාට ලියමි 1 - (සාෂෙන්කා වැන්යුෂින්) ||


ආදරණීය තාන්යා,

මීට කලින් නුඹට නොලීවාට මට සමාවෙන්න. කළු අසරුවා නිසා නුඹත් මමත් බොහොම කිට්ටු මිතුරියන් බවට පත්වුනා. කළු අසරුවා කල එකම හොඳ දෙය එය කියලයි මට හිතෙන්නේ. නුඹ නොහිටින්න අඩුමතරමේ නැව  දකින්නවත් එන්නට මට හිත හදාගන්න බැරුව යනවා තාන්යා. නුඹ දකින්න එන්නවත් සාෂාට කිසිම ක්‍රමයක් නෑ. නුඹ ලියා එව්වා වගේ එකම එක පාරක්වත් පව්ලූෂාගේ රොමැන්සාව බලන්න සාෂාට අවසර නැති හැඩයි. ඇගේ හදවත දුකෙන් පෙඟී ගිහින්. ඈ මළ ගමක යන්න සූදානම්වනවා වගෙයි ඇයට දැනෙන්නේ. ඈ ඉකි බිඳිනවා තාන්යා !! ඈ ඉකි බිඳිනවා!! කිසිම කෙනෙන්කුට නොපෙනෙන්න නෑසෙන්න ඈ ඉකි බිඳිනවා!! ලෝකයාට පෙන්නේ ඇගේ කවිකාර ෆීනික්ස් හිතත් බලෙන් අලවගත්ත හිනාවකුත් විතරයි. ඈ බොහොම වේදනාවෙන්. ඇගේ ෆීනික්ස් හදවත ගිලන් වෙලා. සාෂෙන්කා වැන්යුෂින්ට නැව් නගින්න බෑ !! ඇගේ හිතට එකඟව ඒක කරන්න බෑ ඈට !! ඈ ඒ උත්සාහ කරන්නේ ඇත්තෙන් පලා යන්නයි !! ඇගේ හදවතේ රිද්මය වෙනස් වෙලා තාන්යා !! වෙනදාටත් වඩා බොහොම වේගයෙන් හද ගැහෙනවා!! සාෂා දෙගිඩියාවෙන්. නුඹ හිතනවාටත් වඩා බොහොම දෙගිඩියාවෙන්. නැව පෙනි පෙනීත් ඇගේ දෑස් තවමත් සොයන්නේම පාව්කාමයි !! පව්ලූෂා මිකායෙව් ඈට සුබ පතන්නවත් එයි කියා වැන්යුෂින් තවම මගබලාගෙන. නුඹට මතකද "උෂාලෝකය" පද පෙළ ?? නුඹ ඒ පදපෙළ ලියා එව්වාම සාෂා බොහොම දුක් වුණා. ඒ වගේ දෙයක් ගැන හිතන්නවත් ඈ කැමැති උනේ නෑ . ඒත් අද නැව දිහා බලාගෙන ඉන්න මට මතක්වෙන්නෙම මම නුඹට ලියා එවූ පිළිතුරයි.

අතීතේ එක රැයක
කොටු වෙලා ලොකු වැස්සක
නොතෙමි මට ඉන්නට
ගොඩ වුනා මම හෙවනකට.
වළාකුළු පිරි අහසක
දුර ඈත එක අස්සක
දිලෙන තරුවකි ලස්සන
අනේ !! බෝ ලොබ බැන්දා මම !!!
සිහින මගෙ ඇස් පියන් යට
දඟ කරනවා තරඟෙට
නින්ද නැත අහලක
ගැහෙනවා හද බොහොම සද්දෙට .
දකිමියි සිතා අනන්තය
බලා සිටියේම නුඹ දෙස
මගහැරුනු දේ බෝමයි
නුඹ නිසා තරුවේ මට .
රක්ත පැහැ  වෙනුවට 
අමුතු දම් පැහැ දක්නට
නැත හිතක් කිසි මට
ඔන්න ආයෙමත් !! හද ගැහෙනවා සද්දෙට !!
ඔව් !! මට වැරදුනා
ආයෙමත් මම රැවටුනා
අනන්තය නුඹ යැයි සිතා
හුස්ම මම  නවතාන  උන්නා !!
වැස්ස තව සැර වෙලා
හෙවණ පෙඟිලා ගියා
සීතලට හිත ගල් වෙලා
නේන ගමනක මම ගියා .

අද මට ගමන යන්න නැව් තට්ටුවට ගොඩ වෙන්න බැරි වෙලා තාන්යා. කාලය වෙනදාටත් වඩා වේගයෙන් ගෙවිලා යනවා. අලුත් ලෝකයක් පේනවද කියලවත් බලන්න නැව් තට්ටුවට ගොඩවෙන්න මට හිතක් නෑ. අනේ පාව්කා එකම එක සැරයක් ඇවිත් යනවා නම් !!! මට නැව දකින්න සැලැස්වූවාට නුඹට බොහොම ස්තූතියි තාන්යා,  නමුත් මම තවම දෙගිඩියාවෙන්. නුඹට නැවත ලියන තෙක්, ආදරයෙන්,

~සාෂා~


Thursday, June 30, 2016

|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 16 ||


අද දවස හරිම වෙනස් පාව්කා. උදේ ඉර පායලා තියනවා දකින්නවත් මගේ හිතේ කිසි කැමැත්තක් නෑ. මට මහා උදාසීන කමක් දැනෙනවා. මේ හැමදේටම හේතුව මම දන්නවා උනාට ඒක එහෙම නෙවෙයි කියලා මටම ඒත්තු ගන්නන්න මම උත්සාහ කරනවා. අදින් පස්සේ මොන දෙයක් වෙයිද කියන එක මමවත් දන්නේ නෑ. සාෂාට ඉතුරු වෙලා තියෙන අන්තිම දවස අදයි. අද ඈ ආපහු යන්න නැව් නගින්න ඕන. ඈට නවතින්න බොහොම ඕනෑකමක් තිබුනත් අද නම් ඈ යා යුතුමයි. ඈට මේ දිනපොතවත් අරන් යන්න අවසර නෑ පාවෙල්. අදින් පස්සෙ මේ දිනපොතේ ඉතුරු ඔක්කොම පිටු ටික හිස් පිටු වේවි. කවදා හරි දවසක සාෂෙන්කාට උත්තරයක් හොයාගන්න පුළුවන් කමක් තිබුනොත් විතරක් තව පිටු කිහිපයක් පිරවේවි. මට සමාවෙන්න පව්ලූෂා !!! දැනුවත්ව හෝ නොදැනුවත්ව පුංචිම පුංචි හරි වරදක් උනා නම් සාෂාට සමාවෙන්න !!

නුඹ බොහොම විශේෂයි පව්ලූෂා !! පුන පුනා ඒ දේ කියන්න ඕන නැති උනත්, අවසාන දිගහැරුමේ පුංචි හරි අඩුවක් තියන්න ඕන නෑ කියලයි මට හිතෙන්නේ. 


නුඹේ නිල් පාට කොටු වැටුණු කමිසයත්, බැලලයිකාවත්, බැලලයිකාව දිගේ කඩිසරව එහෙ මෙහෙ දුවන නුඹේ දිගු ඇඟිලිත්, නුඹේ හිනාවත් - මේ ඔක්කොම දේවල් හරිම ලස්සනට පාට කරලා තියන චිත්‍රයක් කිසිම කෙනෙකුට නොපෙනෙන්න මගේ හිතේ තියනවා. ඒ චිත්‍රය විතරක් මම අරන් යනවා පාව්කා !! ඒ මගේ ආදරණිය යමහල !! කොපමණ උත්සාහ කළත් ඒ සිතුවම තියලා මට ආපහු යන්න බෑ . නුඹට කල්පනා කරන්න හිතුනම තවමත් කොණ්ඩය කරකවනවාද පාව්කා ?? අහස පොලව ගැටගහන්න වගේ කල්පනා කරන වෙලාවට නුඹ තවමත් එහෙම කරනවා ඇති කියලා මට හිතෙනවා. මොන දේ අමතක කරත් බැලලයිකාව අමතක කරන්න එපා !! කවදාවත්ම එපා !! දැන් නම් මට හිතෙන්නේ නුඹව කළු අසරුවාගෙන් ගලවාගන්න පුළුවන් එකම දේ බැලලයිකාව කියලමයි. 

පොප්ලර් ගස් පේළියට වගේම පුංචි පොකුණටත් මට වගේම නුඹ නැති පාළුව හොඳින්ම දැනෙනවා ඇති පාව්කා. නුඹෙන් නාහා ගිලගත්තු ප්‍රශ්න තාමත් එහෙමමයි. ඒවාට උත්ර හොයන්න දැන් මම පරක්කු වැඩියි. කාලය බොහොම වේගයෙන් ගතවෙනවා පාව්කා. සාෂාට යන්න වෙලාව ඇවිත්. සමහරවිට මට නුඹව දකින්න ආයෙ කවදාවත්ම එන්න නොලැබේවි, එත් පව්ලූෂා නුඹ හැමදාමත් මගේ ආදරණිය යමහල බව අමතක කරන්න එපා. සාෂාගේ පන්හිඳට නිමිත්ත නුඹම වේවි. ඇගේ වැයුම් ඔබ ගැනම කියාවි. නුඹට හැකිනම් පමණක් ඈ පිටව යන්නට කලින් ඈ වඩාත්ම ආසා කළ වැයුම වයන්න පාව්කා !! එකම එක සැරයක් ඈ බොහොම ආසා කළ හිනාව දකින්නට ඈට ඉඩදෙන්න. සමුගන්නම් මම ,නුඹට ආයුබෝවන් පව්ලූෂා මිකායෙව් !!!

"මෂූර්කා නැටුමට හෙට - නුඹ එනවා ද
බැලලයිකාව වයන්නම් මම තාලෙට
මාෂා නුඹ හෙට එනවාද ??
මෂූර්කාව හෙටයි - නුඹ රඟනවා ද "


~සාෂෙන්කා වැන්යුෂින්~


-සමාප්තයි-



Wednesday, June 29, 2016

|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 15 ||


හැමදාම දිනපොත ලියල ඉවර වෙනකොට සාෂා ගේ ඇස්වල කඳුළු පිරිලා. කොච්චර කඳුළු පිරෙනවාද කිව්වොත් ඈට තව කිසිම දෙයක් පේන්නේ නැති තරමටම කඳුළු පිරෙනවා. බොහොම දවසට ඒවා ඇගේ කම්මුල් දිගේ රූටලා පහලට ගලාගෙන යනවා. ඒත් ඈ පහුවදාටත් ලියන්න වාඩිවෙනවා. සාෂා දන්නවා ඒ දිගහැරුම අවසානයේ වෙන හැමදාකම වගේම ඈට බොහොම දුක හිතෙන වග. ඒත් ඈ ලියනවා. ඈට දවසින් වැඩිහරියක්ම ගතවෙන්නේ කල්පනා කරන්නයි. අහස පොළව ගැටගහන්න වගේ කල්පනා කරනවා කියල පාව්කාට කියන සාෂෙන්කාටත් දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඒ දේම විතරයි. ඒත් ඈ කළු අසරුවාට බොහොම බයයි !! ඇගේ හිතේ කලුවරකට ඉඩ දෙන්න කිසිම ඈට කිසිම කැමැත්තක් නෑ. ඈ ආදරයෙන් බලාගත්තු පාරාදීසය කළු අසරුවා නිසා සොහොන් පිට්ටනියක් වෙයි කියල ඈ බොහොම බයයි. එහෙම උනොත් ඈ වඩාත්ම ආදරය කරන කවියත් පියානෝවත් ඈට නැතිවෙනවා කියලා සාෂා දන්නවා. ඈ වඩාත්ම බය උනේ දැනටමත් පාරාදීසයේ තිබුණ සමහරක් දේ නැතිවෙලා කියල ඇයට තේරුම් ගිය නිසායි. ඈ කොහොමටත් සීතලට වඩා ආසා කළේ උණුහුමටයි පාවෙල්. ඒ නිසා ඈ වඩාත්ම කැමති සුදු අසරුවාටයි. රතු අසරුවා එනවාට අකමැත්තක් නොතිබුනත්, ඊට වඩා ඈ සුදු අසරුවාට ආදරය කළා.

"සාෂා, නුඹ දැන් ලිව්වා ඇති !!! මේ වැඩෙන් නුඹේ හිත තවත් රිදෙනවා මිසක් ඇති වෙන හොඳක් නෑ. වළලන්න කියල කොච්චර කිව්වත් නුඹ ඒවාම බදාගෙන ඉන්න හැටි !!! ඇත්තමයි සාෂා නුඹ තමන්වම බිල්ලට දීගන්නවා කියලයි මට හිතෙන්නේ" කවදත් මටම දොස් කියන හිත කියාගෙන කියාගෙන ගියා.

ඇත්ත තමයි පාව්කා, මේ ලියන ලිවිල්ලෙන් වෙන්නෙ මම අමතක කරන්න හදන දේවල්ම මට මතක් වෙන එක. ඒත් ඒවා ලියල ඉවරයක් කරන එක මට හිතට හොඳයි. 


බොහොම කාලෙකට පස්සේ ඊයෙ හවස මගේ ඇඟිලි පියානෝව දිගේ එහෙට මෙහෙට දිව්වා. වෙනදාට බොහොම වේගෙන් එහා මෙහා දුවන ඇඟිලි ඊයෙ බොහොම උදාසීනකමකින්දෝ කියල මට හිතුනා. ඒත් ඒ තාලය මම බොහොම කැමති එකක්. ඒ රිද්මය නිසා මට තව බොහොම දේවල් මතක් උනා පාව්කා. ඒත් මොකක් හරි හේතුවක් නිසා මට ඒ කිසිම දෙයක් මේ දිගහැරුමේ ලියන්න හිතෙන්නේ නෑ . කොටින්ම ඒවා කිසිම දිගහැරුමක ලියන්න ඕන නෑ කියලයි මට හිතෙන්නේ.

"සාෂා, නුඹට කම්මැලි නැද්ද ??"

"මොකටද ??" මම හැමදාම ඇස් පුංචි කරගෙන ඇහුවා.

"ගොඩක් වෙලා කතා කරන්න !! මම කිව්වේ ....... ගොඩක් වචන කියන්න"

"මේ මොන කතාවක්ද මේ අහන්නේ !!! අහන්න මොකුත් නැතුවට අහන ප්‍රශ්නයක් ද කොහෙද මේ නම්!! " සුපුරුදු පරිදි මගේ පණ්ඩිත හිත මැද්දට පැනල කියන්න පටන්ගත්තා.

"ඔහොම ඉන්නකෝ මමත් අහන්න හොඳවයින් ප්‍රශ්නයක් !!" මම එහෙම හිතලා ටිකක් වෙලා අරගෙන "ඇයි ?" කියලා ඇහුවා.

"නෑ ....මට එහම කතා කරන්න කම්මැලියි" නුඹ කිව්වා.

"කියන්න ඕන දේ කියන්න ඕන නේ !! මට එහෙම කියන්න කම්මැලි නෑ !!" මම උත්තර දුන්නෙ ටිකක් කේන්තියෙන්.

"හ්ම්"

සාෂාගේ හිත බොහොම සද්දෙට කෑ ගහනවා. "අනේ අනේ පාව්කා !! නුඹේ ඔය කම්මැලිකම !!! නොදන්න මනුස්සයෙක් එහෙම කතාකරොත් හිතන්නේ තියන ආඩම්බරකම කියලා !! පණ්ඩිතකම !! කම්මැලියිලු !! හරි කතාවක් තමයි !!" ඒ නුඹේ හැටි. නුඹත් එක්ක බැලුවාම නම් මම ගිරවියක් වගේ කියවනවා තමයි පාව්කා. ඒත් මම හිතේ හංගගෙන ඉන්නේ බොහොම ටිකයි. ගොඩක් දේ කියනවා. දැන් මම දන්න පාව්කාට වඩා ඒ පාව්කා බොහොම හොඳයි. දැන් මම දන්න පාව්කා කළු අසරුවාගේ හිරකාරයෙක්. මම දන්නේ නෑ පාව්කා නුඹ යටත් උනේ ඇයි කියලා. මොන දේටත් හේතුවක් තියෙන්න ඕනෑ. ඒක සාෂෙන්කා දන්නවා. ඒත් ඈ නොදන්නා එකම දේ ගැන දැනගන්න කිසිම ක්‍රමයක් ඈට නෑ . තව බොහොම දේ ලියන්න තිබුණත් මෙහි ඉඩක් ඉතුරුවෙලා නෑ . මම ගිහින් හෙට එන්නම් පව්ලූෂා !!


~සාෂෙන්කා~



Tuesday, June 28, 2016

|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 14 ||

වෙනදාට පෑන පොත ඇතුලෙන් තියන මට ඊයෙ එහෙම කරන්න අමතක උනා. ඒ නිසා අදට නියමිත හිස් පිටුව පෙරලනවා වෙනුවට, පොත මුල ඉඳන්ම පෙරලගෙන යන්න පටන් ගත්තා.

මගේ දිනපොතේ මුල්ම පිටුව පිරවුනේ මීට අවුරුදු දෙකකට විතර උඩදි දවසක. දිනපොතක් කිව්වට ඒක නිකම්ම නිකන් සුදු පිටු තිබුණ ටිකක් ලොකු පොතක්. මොකද්දෝ හේතුවකට මට ඒ පොත එදා දවසෙන් එහාට පුරවන්න හිතුනේ නෑ. දිනපොතේ ලිවිය යුතුයැයි හිතුණු හැමදෙයක්ම මම මතක තියාගෙන හිටියා මිසක්, ඒ කිසිම දෙයක් ලියා තියන්න උනන්දු උනේ නෑ. වැහි වළාකුළු එකක් දෙකක් ඉඳලා හිටලා ආවත් මම හෙවනකට දුවනවා වෙනුවට තෙමෙන්න තීරණය කරලයි තිබුණේ. ඒ නිසා ලියනවා වෙනුවට මම හැමදෙයක්ම මතක තියා ගත්තා. නුඹට මේ දිනපොත කියවන්න ලැබුනොත් මම ඒ කිව්වේ මොකද්ද කියල නුඹට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා පාව්කා. මුල්ම පිටුවේ මම මගේවත් නුඹේවත් විස්තරයක් ලියා තිබුණේ නෑ . ඒ වෙනුවට හරි අමුතු කතාවක් සාෂා ලියා තිබුණා.

සත්තයි ප්‍රේමයටද තිබේ භාෂාවක්
එකිනෙකාට ආවේනික වූත්
සකලවිද ප්‍රකාශනයන්ගෙන් පරිපුර්ණවූත්
නෙක විද හැඟීමන්ගෙන් වර්ණවත්වූත්
නා නා විද සිතුවිලි වලට උල්පතක් වූත්
සත්තයි, ආලවන්ත කමටද තිබේ බසක්
ඉබේම පහල වන්නා වූ !!!

ඒ වචන පේලි වල අරුමෝසම් ගතියක් නැතත්, ලොකු සතුටක් පිරිලා තියනවා කියල මට හිතුනා. මේ වගේ සතුට පිරිච්ච කවි වලට ලුද්මිලා කිව්වේ "සතුටු කවි" කියලයි.

"සාෂා නුඹ සතුටු කවි ලියනවා නම් මම බොහොම කැමතියි" දවසක් ලුද්මිලා මට එහෙම කිව්වා.

"සතුටු කවි ?? ඒ මොනවද ඒ ??" මම පුදුම වෙලා ඇහුවා.

"සතුටු කවි කියන්නේ සතුට පිරුණු කවි වලට !!" ලුද්මිලා කිව්වා.

"ආ එහෙමද !! හරි.....බලමුකෝ !! නුඹ දන්නවනේ , මට සතුටට වඩා දැනෙන්නේ දුක කියලා. ඒ නිසා මට සතුටු කවි වලට

වඩා ලේසියෙන් "දුකට උපන් කවි" ලියන්න පුළුවන් !! "

"පණ්ඩිත ආච්චි !!" ලුද්මිලා කිව්වා.

මේ කතාව මට මතක් උනේ මේ පද පේලි ටික ලුද්මිලා කියන්න වගේ "සතුටු කවි" නිසා වෙන්න ඇති. ඒත් නිමිත්ත නුඹමයි පාව්කා !! එදා සතුටු කවි ලියන්නටත් මෙදා දිනපොත ලියන්නටත් නිමිත්ත උනේ නුඹයි !! වෙන කාටත් වඩා මගේ දුක් ගැනවිලි අහන් ඉන්න සිද්ද උනේ ලුද්මිලාටයි මීෂාටයි. මීෂා නම් බොහොම ඉවසිලිවන්ත අසන්නෙක් උනා. ඒත් ලුද්මිලාට නුඹ එක්ක තිබුණේ අසීමාන්තික තරහක් බව මම දැනගෙන හිටියා. මට නුඹව විශේෂ උන හැම හේතුවක්ම ලුද්මිලාට නුඹ එක්ක තරහ ඇති කරගැනීමට හේතුවක් උනා.

"කතා කරාම ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා. හිනා වෙන්න දන්නෙවත් නෑ !! ඇත්තමයි සාෂා නුඹට නම් හොඳටම පිස්සු !! මොකට හිනා වෙලා කතා කරනවද මන්දා !! මම උනා නම් ....ඇත්තමයි ....මම හිනා නොවී ඉන්නවා" ලුද්මිලා එක හුස්මට වේගයෙන් කියාගෙන යනවා.

මම හිනා වෙනවා. බොහොම සද්දෙට හිනා වෙනවා. එතකොට ලුද්මිලාට තවත් කේන්ති යනවා. ඒ නුඹේ හැටි කියල හිතුනේ මට විතරමද පාව්කා ?? ඒත් මීෂාත් ඒ ගැන තේරුම් අරන් හිටියා කියලයි මට හිතෙන්නේ. ඒ මොකක් වෙතත් නුඹේ පිළිවෙලේ වෙනසක් කරන්න කාටවත් බෑ කියල නම් මම ඒ වෙනකොට තේරුම් අරගෙනයි තිබුණේ. ඒත් කතා කරන්න ඕනෑ යයි හිතුණු වෙලාවට නම් නුඹ බොහොම හොඳට කතා කළා පාවෙල් !! ඒත් නුඹට එහෙම හිතුනේ හරිම අඩුවෙන් නේ !! හිටපු ගමන් හරි අමුතු ප්‍රශ්න අහන වෙලාවලුත් තිබුණා.

"නුඹ මාත් එක්ක තරහෙන්ද සාෂා ??" එක දවසක් නුඹ මගෙන් අහනවා.

"මොකක් !! සාෂා.....මේ පාවෙල් ද ?? හොඳට බලන්න !!" මගේ කටකාර හිත හොඳටම කලබල වෙලා. දැන් ඔන්න මම හිතේ පින්තූර කතාවක් ඇඳගෙන ඇඳගෙන යන්න පටන් අරන්. "ඇයි පාවෙල් මෙහෙම අහන්නේ ?? කිසිම හේතුවක් නෑ නේ !! මොලේ කල්පනා කරලා උත්තර දෙන්න සාෂා !!"

"ඇයි එහෙම අහන්නේ ?" මම පෙරලා ඇහුවා.

"නෑ ......මට එහෙම හිතුනා...ඒකයි"

"අපෝ නෑ !! මම තරහ නෑ !! මම හිතුවේ නුඹ මාත් එක්ක තරහින් ඇති කියලා !!"

එහෙම කිව්වට මම හිතින් කිව්වේ වෙනමම එකක්. "ඇති යන්තන් !! එහෙමවත් දෙයක් තේරෙනවා.....ඔය කරන වැඩ වලට තරහ ගන්නේ නැතුව කෙනෙක් ඉන්නේ කොහොමද !! " හිතින් එහෙම හිතුවත් ඒ ටික කටින් නොකිය ඉන්න සාෂා පරිස්සම් උනා.

එහෙමත් කාලයක් තිබුණා නේද කියල මතක් වෙනකොට සාෂා ගේ ෆීනික්ස් හදවත බොහොම රිදෙනවා පාවෙල්.  ඒත් අඳුරු හෙවණැල්ලකට කරන්න බැරි දෙයක් නෑ කියල සාෂා දැන් දන්නවා. තව ටික කාලයක් යනකොට සාෂා ගේ හිතත් නුඹේ වගේම සීතල අයිස් කුට්ටියක් බවට පත්වෙයි කියල ඈ බොහොම බයයි. ඒ නිසා උණුහුම රඳවාගන්න ඈ ඉර එලිය යන්තමින් හරි තැවරුණ මතක අරන් ඉස්සරහම පෝලිමේ තියාගන්නවා පාව්කා. නුඹ ආපහු එනකන්, මම ,


~සාෂෙන්කා~

 

 

Monday, June 27, 2016

|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 13 ||


අද මම පෑන අතට ගත්තේ ටිකක් පහුවෙලා පාව්කා. ඒ මට ලියන්න දෙයක් හිතාගන්න බැරුවවත් ලියාගන්න බැරි තරමටම හිත බිඳිලා ගිහින් නිසාවත් නෙවෙයි. සාෂෙන්කාට බොහොම වෙහෙසයි. ඈට උණ ගැනිලා අදට දවස් දෙකක්. එත් දිනපොතේ එක පිටුවක්වත්  හිස් තියන්න ඇගේ හිත ඈට ඉඩ දෙන්නේ නෑ .

"සාෂා නුඹට බොහොම අමාරුයි. අද පිටුව හිස් තිව්වාට නපුරක් වෙන්නේ නෑ !! නුඹට කෙලින් ඉන්නවත් පණක් නෑ සාෂෙන්කා !! නුඹ ගැනත් ටිකක් හිතන්න පුරුදු වෙන්න" මගේ හිත මට බනින්න පටන් ගත්තා.

ඒ බැනිල්ල අසාධාරණයි කියන්න බෑ පාව්කා. මම මටත් වඩා මම නුඹ ගැන වද උන අවස්ථා ඕනෑ තරම් තිබුණා. ඒත් නුඹට ඒ කිසිම දෙයක් තේරුම් යන්න ඇති කියලා මට හිතෙන්නේ නෑ. නැගිටගන්න බැරුව ලෙඩ ඇඳට වැටුනමවත් මට නුඹ ගැන හිතන එක නවත්ත ගන්න බැරුව ගිහින්. දැන් නම් මට හිතෙන්නේ මම නරක හීනයක් දකිනවා කියලයි පාව්කා. නළලේ එකතු වුන පුංචි දාඩිය බින්දු පිහදානවටත් වඩා මට අමාරු උනේ උල්පතකින් වගේ ඇස් වලින් කඳුළු ගලන එක නතර කරගන්නයි. ඒ නුඹ නිසා උපන් කඳුළු  ද එහෙමත් නැතිනම් ඉවසන්න බැරි ඉසේ කැක්කුම නිසා ගැලූ කඳුළුද කියන්න මම දන්නේ නෑ පාව්කා. ඒත් ඇඳට වැටිලා ඉන්න නම් මට හිතක් නෑ. දුම් දමන සමොවරයක්  තරම්ම මම රස්නෙයි කියල මට දැනෙනවා. ඒත් ඇඳ විවේක ගන්න තරම් නිවාඩුවක් මගේ හිතට නෑ. දිනපොතේ අදට වෙන් වෙච්ච පිටුව පිරෙනකන් මගේ හිතට සැනසිල්ලක් නෑ.

අද පිටුව පුරවන්න වෙනදා වගේම නිමිත්ත නුඹයි පාව්කා. ඒත් අද ලියනවා කියල ලියන්න පටන් ගත්තු දේ වෙනුවට වෙනමම දෙයක් මට ලියන්න කියල හිත කියනවා. ඒ වෙන මොනදෙයක්වත් නිසා නෙවෙයි. දිනපොත අතට ගනිද්දි කකුල් දෙක පාමුලට වැටුන පරණ කඩදාසි කෑල්ලක් නිසා. දෙකට නවල තිබුන ලා කහ පාට කඩදාසි කෑල්ලේ තිබුණේ මගේ අත් අකුරු. බොහොම කලබලෙන් කුරුටු ගෑ පද කිහිපයක් එහි තිබුණා.

පාව්කා පාව්කා
නුඹට මා ඇහෙනවද
මගේ හිත ගිනි අරන්
එය නුඹට දැනෙනවද
කළු අසරුවා තවම
නුඹේ හිත ඇතුලේද
පාව්කා පාව්කා
කෝ කොහිද ගියේ නුඹ !

මේ පද මේ විදියට ලියවුණේ නුඹ අන්තිමටම මාත් එක්ක කතා කරපු දවසට පහුවෙනිදායි පාව්කා. එදා අපි අතර ඇති උනේ පුංචිම පුංචි කතා බහක් විතරයි. ඒ කතාබහෙන් පස්සේ ආයේ කතාවක් නැතිවෙයි කියලා සාෂා දැනන් හිටියා නම් !!! මට එක තප්පරේකටවත් එහෙම හිතුනේ නෑ පාවෙල්.

"මොකද ඊයේ දවසෙම පේන්නවත් හිටියේ නැත්තේ ??" මම ඇහුවා.

"පොතක් බැලුවා" නුඹ කිව්වා.

"මොකද්ද පොත ??"

"සුදු වලහා"

"ඒක පොඩි ළමයින්ගේ පොතක් නේ පාව්කා" මම හිනාව තද කරගෙන කිව්වා.

"ඒ පොත නෙවෙයි. වෙන පොතක්. අලුත් එකක්. මීෂා මට දුන්නේ" නුඹ කිව්වේ උත්තර දෙන්න තිබුණ උවමනාවට වඩා මගේ ප්‍රශ්න වැලෙන් ගැලවෙන්න කියලයි මට හිතුනෙ.

"කියවලා ඉවර වෙලා මටත් දෙනවද ??" මම ඇහුවා. "දැන් ඉතින් හිත රිද්දගෙන අඬන්න බලාගෙන ඉන්න සාෂෙන්කා !! නුඹට කොච්චර කිව්වත් තේරෙන්නේ නැති හැටි !! බබායිගා යකින්නට බාර දෙන්න තමයි දැන් වෙන්නේ" හිත හැමදාම වගේ මට දොස් කියන්න පටන් ගත්තා.

"බලමු"

ඔව් !! පාව්කා තනි වචනයෙන් උත්තර දෙන එක තරම් සාෂා අකමැති තවත් දෙයක් නොතිබුන තරම් !! එත් කළු අසරුවා හිතට රිංගලා හිටපු කාලෙක එක වචනයක් කියන්නෙත් සාෂාට බොහොම වටිනා දෙයක්. තරහ ගිය බවක් නොපෙන්වා ඈ නැවතත් පාව්කාට කතා කළා.

"බලමු කියන්නේ ඉතින් බෑ තමයි. ආයෙ මම නොදන්නවද ඕක !! කමක් නෑ මට පොත ඕන නෑ !!" මම කියාගෙන ගියේ එක හුස්මට.

"බෑ කිව්වේ නෑ . බලමු කියල කිව්වේ" නුඹටත් දැන් නම් තරහ ගිහින් කියල සාෂා ට හිතුණා.

මම ඊට පස්සේ නුඹට මොනවත් කියන්න ගියේ නෑ පාව්කා. මම යන්න ගියා. ඊළඟ දවසට ඉර පායලා පැය හතර පහක් ගතවුනා. එදා මම අහපු එකම ප්‍රශ්නෙකටවත් නුඹ උත්තර දුන්නෙ නෑ . මම කියපු එකම එක වචනයක්වත් නුඹ අහන් හිටියා කියලවත් මට හිතුනේ නෑ . මම තරහ නෑ පාව්කා. මම වරදක් කළාද කියන්න මට තේරුමක් නෑ . ඒත් එදා ඉඳන් අද වෙනකන් නුඹ එකම වචනයක්වත් මා එක්ක කතා කළේ නෑ. කළු අසරුවාගේ කීම පිළිගන්න එපා පාව්කා !! සාෂාට සමාවෙන්න !! කකුල් දෙක ලඟට වැටුණු ලා කහ පාට කඩදාසියේ තිබුණේ නිකම්ම නිකන් වචන ටිකක් නෙවෙයි පවුලූෂා. පණ පොවපු හැඟීම් !! අදට මම නවතින්නම්. නුඹට ආයුබෝවන් !!  ‌


~සාෂෙන්කා~