Thursday, June 30, 2016

|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 16 ||


අද දවස හරිම වෙනස් පාව්කා. උදේ ඉර පායලා තියනවා දකින්නවත් මගේ හිතේ කිසි කැමැත්තක් නෑ. මට මහා උදාසීන කමක් දැනෙනවා. මේ හැමදේටම හේතුව මම දන්නවා උනාට ඒක එහෙම නෙවෙයි කියලා මටම ඒත්තු ගන්නන්න මම උත්සාහ කරනවා. අදින් පස්සේ මොන දෙයක් වෙයිද කියන එක මමවත් දන්නේ නෑ. සාෂාට ඉතුරු වෙලා තියෙන අන්තිම දවස අදයි. අද ඈ ආපහු යන්න නැව් නගින්න ඕන. ඈට නවතින්න බොහොම ඕනෑකමක් තිබුනත් අද නම් ඈ යා යුතුමයි. ඈට මේ දිනපොතවත් අරන් යන්න අවසර නෑ පාවෙල්. අදින් පස්සෙ මේ දිනපොතේ ඉතුරු ඔක්කොම පිටු ටික හිස් පිටු වේවි. කවදා හරි දවසක සාෂෙන්කාට උත්තරයක් හොයාගන්න පුළුවන් කමක් තිබුනොත් විතරක් තව පිටු කිහිපයක් පිරවේවි. මට සමාවෙන්න පව්ලූෂා !!! දැනුවත්ව හෝ නොදැනුවත්ව පුංචිම පුංචි හරි වරදක් උනා නම් සාෂාට සමාවෙන්න !!

නුඹ බොහොම විශේෂයි පව්ලූෂා !! පුන පුනා ඒ දේ කියන්න ඕන නැති උනත්, අවසාන දිගහැරුමේ පුංචි හරි අඩුවක් තියන්න ඕන නෑ කියලයි මට හිතෙන්නේ. 


නුඹේ නිල් පාට කොටු වැටුණු කමිසයත්, බැලලයිකාවත්, බැලලයිකාව දිගේ කඩිසරව එහෙ මෙහෙ දුවන නුඹේ දිගු ඇඟිලිත්, නුඹේ හිනාවත් - මේ ඔක්කොම දේවල් හරිම ලස්සනට පාට කරලා තියන චිත්‍රයක් කිසිම කෙනෙකුට නොපෙනෙන්න මගේ හිතේ තියනවා. ඒ චිත්‍රය විතරක් මම අරන් යනවා පාව්කා !! ඒ මගේ ආදරණිය යමහල !! කොපමණ උත්සාහ කළත් ඒ සිතුවම තියලා මට ආපහු යන්න බෑ . නුඹට කල්පනා කරන්න හිතුනම තවමත් කොණ්ඩය කරකවනවාද පාව්කා ?? අහස පොලව ගැටගහන්න වගේ කල්පනා කරන වෙලාවට නුඹ තවමත් එහෙම කරනවා ඇති කියලා මට හිතෙනවා. මොන දේ අමතක කරත් බැලලයිකාව අමතක කරන්න එපා !! කවදාවත්ම එපා !! දැන් නම් මට හිතෙන්නේ නුඹව කළු අසරුවාගෙන් ගලවාගන්න පුළුවන් එකම දේ බැලලයිකාව කියලමයි. 

පොප්ලර් ගස් පේළියට වගේම පුංචි පොකුණටත් මට වගේම නුඹ නැති පාළුව හොඳින්ම දැනෙනවා ඇති පාව්කා. නුඹෙන් නාහා ගිලගත්තු ප්‍රශ්න තාමත් එහෙමමයි. ඒවාට උත්ර හොයන්න දැන් මම පරක්කු වැඩියි. කාලය බොහොම වේගයෙන් ගතවෙනවා පාව්කා. සාෂාට යන්න වෙලාව ඇවිත්. සමහරවිට මට නුඹව දකින්න ආයෙ කවදාවත්ම එන්න නොලැබේවි, එත් පව්ලූෂා නුඹ හැමදාමත් මගේ ආදරණිය යමහල බව අමතක කරන්න එපා. සාෂාගේ පන්හිඳට නිමිත්ත නුඹම වේවි. ඇගේ වැයුම් ඔබ ගැනම කියාවි. නුඹට හැකිනම් පමණක් ඈ පිටව යන්නට කලින් ඈ වඩාත්ම ආසා කළ වැයුම වයන්න පාව්කා !! එකම එක සැරයක් ඈ බොහොම ආසා කළ හිනාව දකින්නට ඈට ඉඩදෙන්න. සමුගන්නම් මම ,නුඹට ආයුබෝවන් පව්ලූෂා මිකායෙව් !!!

"මෂූර්කා නැටුමට හෙට - නුඹ එනවා ද
බැලලයිකාව වයන්නම් මම තාලෙට
මාෂා නුඹ හෙට එනවාද ??
මෂූර්කාව හෙටයි - නුඹ රඟනවා ද "


~සාෂෙන්කා වැන්යුෂින්~


-සමාප්තයි-



Wednesday, June 29, 2016

|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 15 ||


හැමදාම දිනපොත ලියල ඉවර වෙනකොට සාෂා ගේ ඇස්වල කඳුළු පිරිලා. කොච්චර කඳුළු පිරෙනවාද කිව්වොත් ඈට තව කිසිම දෙයක් පේන්නේ නැති තරමටම කඳුළු පිරෙනවා. බොහොම දවසට ඒවා ඇගේ කම්මුල් දිගේ රූටලා පහලට ගලාගෙන යනවා. ඒත් ඈ පහුවදාටත් ලියන්න වාඩිවෙනවා. සාෂා දන්නවා ඒ දිගහැරුම අවසානයේ වෙන හැමදාකම වගේම ඈට බොහොම දුක හිතෙන වග. ඒත් ඈ ලියනවා. ඈට දවසින් වැඩිහරියක්ම ගතවෙන්නේ කල්පනා කරන්නයි. අහස පොළව ගැටගහන්න වගේ කල්පනා කරනවා කියල පාව්කාට කියන සාෂෙන්කාටත් දැන් ඉතුරු වෙලා තියෙන්නේ ඒ දේම විතරයි. ඒත් ඈ කළු අසරුවාට බොහොම බයයි !! ඇගේ හිතේ කලුවරකට ඉඩ දෙන්න කිසිම ඈට කිසිම කැමැත්තක් නෑ. ඈ ආදරයෙන් බලාගත්තු පාරාදීසය කළු අසරුවා නිසා සොහොන් පිට්ටනියක් වෙයි කියල ඈ බොහොම බයයි. එහෙම උනොත් ඈ වඩාත්ම ආදරය කරන කවියත් පියානෝවත් ඈට නැතිවෙනවා කියලා සාෂා දන්නවා. ඈ වඩාත්ම බය උනේ දැනටමත් පාරාදීසයේ තිබුණ සමහරක් දේ නැතිවෙලා කියල ඇයට තේරුම් ගිය නිසායි. ඈ කොහොමටත් සීතලට වඩා ආසා කළේ උණුහුමටයි පාවෙල්. ඒ නිසා ඈ වඩාත්ම කැමති සුදු අසරුවාටයි. රතු අසරුවා එනවාට අකමැත්තක් නොතිබුනත්, ඊට වඩා ඈ සුදු අසරුවාට ආදරය කළා.

"සාෂා, නුඹ දැන් ලිව්වා ඇති !!! මේ වැඩෙන් නුඹේ හිත තවත් රිදෙනවා මිසක් ඇති වෙන හොඳක් නෑ. වළලන්න කියල කොච්චර කිව්වත් නුඹ ඒවාම බදාගෙන ඉන්න හැටි !!! ඇත්තමයි සාෂා නුඹ තමන්වම බිල්ලට දීගන්නවා කියලයි මට හිතෙන්නේ" කවදත් මටම දොස් කියන හිත කියාගෙන කියාගෙන ගියා.

ඇත්ත තමයි පාව්කා, මේ ලියන ලිවිල්ලෙන් වෙන්නෙ මම අමතක කරන්න හදන දේවල්ම මට මතක් වෙන එක. ඒත් ඒවා ලියල ඉවරයක් කරන එක මට හිතට හොඳයි. 


බොහොම කාලෙකට පස්සේ ඊයෙ හවස මගේ ඇඟිලි පියානෝව දිගේ එහෙට මෙහෙට දිව්වා. වෙනදාට බොහොම වේගෙන් එහා මෙහා දුවන ඇඟිලි ඊයෙ බොහොම උදාසීනකමකින්දෝ කියල මට හිතුනා. ඒත් ඒ තාලය මම බොහොම කැමති එකක්. ඒ රිද්මය නිසා මට තව බොහොම දේවල් මතක් උනා පාව්කා. ඒත් මොකක් හරි හේතුවක් නිසා මට ඒ කිසිම දෙයක් මේ දිගහැරුමේ ලියන්න හිතෙන්නේ නෑ . කොටින්ම ඒවා කිසිම දිගහැරුමක ලියන්න ඕන නෑ කියලයි මට හිතෙන්නේ.

"සාෂා, නුඹට කම්මැලි නැද්ද ??"

"මොකටද ??" මම හැමදාම ඇස් පුංචි කරගෙන ඇහුවා.

"ගොඩක් වෙලා කතා කරන්න !! මම කිව්වේ ....... ගොඩක් වචන කියන්න"

"මේ මොන කතාවක්ද මේ අහන්නේ !!! අහන්න මොකුත් නැතුවට අහන ප්‍රශ්නයක් ද කොහෙද මේ නම්!! " සුපුරුදු පරිදි මගේ පණ්ඩිත හිත මැද්දට පැනල කියන්න පටන්ගත්තා.

"ඔහොම ඉන්නකෝ මමත් අහන්න හොඳවයින් ප්‍රශ්නයක් !!" මම එහෙම හිතලා ටිකක් වෙලා අරගෙන "ඇයි ?" කියලා ඇහුවා.

"නෑ ....මට එහම කතා කරන්න කම්මැලියි" නුඹ කිව්වා.

"කියන්න ඕන දේ කියන්න ඕන නේ !! මට එහෙම කියන්න කම්මැලි නෑ !!" මම උත්තර දුන්නෙ ටිකක් කේන්තියෙන්.

"හ්ම්"

සාෂාගේ හිත බොහොම සද්දෙට කෑ ගහනවා. "අනේ අනේ පාව්කා !! නුඹේ ඔය කම්මැලිකම !!! නොදන්න මනුස්සයෙක් එහෙම කතාකරොත් හිතන්නේ තියන ආඩම්බරකම කියලා !! පණ්ඩිතකම !! කම්මැලියිලු !! හරි කතාවක් තමයි !!" ඒ නුඹේ හැටි. නුඹත් එක්ක බැලුවාම නම් මම ගිරවියක් වගේ කියවනවා තමයි පාව්කා. ඒත් මම හිතේ හංගගෙන ඉන්නේ බොහොම ටිකයි. ගොඩක් දේ කියනවා. දැන් මම දන්න පාව්කාට වඩා ඒ පාව්කා බොහොම හොඳයි. දැන් මම දන්න පාව්කා කළු අසරුවාගේ හිරකාරයෙක්. මම දන්නේ නෑ පාව්කා නුඹ යටත් උනේ ඇයි කියලා. මොන දේටත් හේතුවක් තියෙන්න ඕනෑ. ඒක සාෂෙන්කා දන්නවා. ඒත් ඈ නොදන්නා එකම දේ ගැන දැනගන්න කිසිම ක්‍රමයක් ඈට නෑ . තව බොහොම දේ ලියන්න තිබුණත් මෙහි ඉඩක් ඉතුරුවෙලා නෑ . මම ගිහින් හෙට එන්නම් පව්ලූෂා !!


~සාෂෙන්කා~



Tuesday, June 28, 2016

|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 14 ||

වෙනදාට පෑන පොත ඇතුලෙන් තියන මට ඊයෙ එහෙම කරන්න අමතක උනා. ඒ නිසා අදට නියමිත හිස් පිටුව පෙරලනවා වෙනුවට, පොත මුල ඉඳන්ම පෙරලගෙන යන්න පටන් ගත්තා.

මගේ දිනපොතේ මුල්ම පිටුව පිරවුනේ මීට අවුරුදු දෙකකට විතර උඩදි දවසක. දිනපොතක් කිව්වට ඒක නිකම්ම නිකන් සුදු පිටු තිබුණ ටිකක් ලොකු පොතක්. මොකද්දෝ හේතුවකට මට ඒ පොත එදා දවසෙන් එහාට පුරවන්න හිතුනේ නෑ. දිනපොතේ ලිවිය යුතුයැයි හිතුණු හැමදෙයක්ම මම මතක තියාගෙන හිටියා මිසක්, ඒ කිසිම දෙයක් ලියා තියන්න උනන්දු උනේ නෑ. වැහි වළාකුළු එකක් දෙකක් ඉඳලා හිටලා ආවත් මම හෙවනකට දුවනවා වෙනුවට තෙමෙන්න තීරණය කරලයි තිබුණේ. ඒ නිසා ලියනවා වෙනුවට මම හැමදෙයක්ම මතක තියා ගත්තා. නුඹට මේ දිනපොත කියවන්න ලැබුනොත් මම ඒ කිව්වේ මොකද්ද කියල නුඹට තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා පාව්කා. මුල්ම පිටුවේ මම මගේවත් නුඹේවත් විස්තරයක් ලියා තිබුණේ නෑ . ඒ වෙනුවට හරි අමුතු කතාවක් සාෂා ලියා තිබුණා.

සත්තයි ප්‍රේමයටද තිබේ භාෂාවක්
එකිනෙකාට ආවේනික වූත්
සකලවිද ප්‍රකාශනයන්ගෙන් පරිපුර්ණවූත්
නෙක විද හැඟීමන්ගෙන් වර්ණවත්වූත්
නා නා විද සිතුවිලි වලට උල්පතක් වූත්
සත්තයි, ආලවන්ත කමටද තිබේ බසක්
ඉබේම පහල වන්නා වූ !!!

ඒ වචන පේලි වල අරුමෝසම් ගතියක් නැතත්, ලොකු සතුටක් පිරිලා තියනවා කියල මට හිතුනා. මේ වගේ සතුට පිරිච්ච කවි වලට ලුද්මිලා කිව්වේ "සතුටු කවි" කියලයි.

"සාෂා නුඹ සතුටු කවි ලියනවා නම් මම බොහොම කැමතියි" දවසක් ලුද්මිලා මට එහෙම කිව්වා.

"සතුටු කවි ?? ඒ මොනවද ඒ ??" මම පුදුම වෙලා ඇහුවා.

"සතුටු කවි කියන්නේ සතුට පිරුණු කවි වලට !!" ලුද්මිලා කිව්වා.

"ආ එහෙමද !! හරි.....බලමුකෝ !! නුඹ දන්නවනේ , මට සතුටට වඩා දැනෙන්නේ දුක කියලා. ඒ නිසා මට සතුටු කවි වලට

වඩා ලේසියෙන් "දුකට උපන් කවි" ලියන්න පුළුවන් !! "

"පණ්ඩිත ආච්චි !!" ලුද්මිලා කිව්වා.

මේ කතාව මට මතක් උනේ මේ පද පේලි ටික ලුද්මිලා කියන්න වගේ "සතුටු කවි" නිසා වෙන්න ඇති. ඒත් නිමිත්ත නුඹමයි පාව්කා !! එදා සතුටු කවි ලියන්නටත් මෙදා දිනපොත ලියන්නටත් නිමිත්ත උනේ නුඹයි !! වෙන කාටත් වඩා මගේ දුක් ගැනවිලි අහන් ඉන්න සිද්ද උනේ ලුද්මිලාටයි මීෂාටයි. මීෂා නම් බොහොම ඉවසිලිවන්ත අසන්නෙක් උනා. ඒත් ලුද්මිලාට නුඹ එක්ක තිබුණේ අසීමාන්තික තරහක් බව මම දැනගෙන හිටියා. මට නුඹව විශේෂ උන හැම හේතුවක්ම ලුද්මිලාට නුඹ එක්ක තරහ ඇති කරගැනීමට හේතුවක් උනා.

"කතා කරාම ඇහෙන්නේ නෑ වගේ ඉන්නවා. හිනා වෙන්න දන්නෙවත් නෑ !! ඇත්තමයි සාෂා නුඹට නම් හොඳටම පිස්සු !! මොකට හිනා වෙලා කතා කරනවද මන්දා !! මම උනා නම් ....ඇත්තමයි ....මම හිනා නොවී ඉන්නවා" ලුද්මිලා එක හුස්මට වේගයෙන් කියාගෙන යනවා.

මම හිනා වෙනවා. බොහොම සද්දෙට හිනා වෙනවා. එතකොට ලුද්මිලාට තවත් කේන්ති යනවා. ඒ නුඹේ හැටි කියල හිතුනේ මට විතරමද පාව්කා ?? ඒත් මීෂාත් ඒ ගැන තේරුම් අරන් හිටියා කියලයි මට හිතෙන්නේ. ඒ මොකක් වෙතත් නුඹේ පිළිවෙලේ වෙනසක් කරන්න කාටවත් බෑ කියල නම් මම ඒ වෙනකොට තේරුම් අරගෙනයි තිබුණේ. ඒත් කතා කරන්න ඕනෑ යයි හිතුණු වෙලාවට නම් නුඹ බොහොම හොඳට කතා කළා පාවෙල් !! ඒත් නුඹට එහෙම හිතුනේ හරිම අඩුවෙන් නේ !! හිටපු ගමන් හරි අමුතු ප්‍රශ්න අහන වෙලාවලුත් තිබුණා.

"නුඹ මාත් එක්ක තරහෙන්ද සාෂා ??" එක දවසක් නුඹ මගෙන් අහනවා.

"මොකක් !! සාෂා.....මේ පාවෙල් ද ?? හොඳට බලන්න !!" මගේ කටකාර හිත හොඳටම කලබල වෙලා. දැන් ඔන්න මම හිතේ පින්තූර කතාවක් ඇඳගෙන ඇඳගෙන යන්න පටන් අරන්. "ඇයි පාවෙල් මෙහෙම අහන්නේ ?? කිසිම හේතුවක් නෑ නේ !! මොලේ කල්පනා කරලා උත්තර දෙන්න සාෂා !!"

"ඇයි එහෙම අහන්නේ ?" මම පෙරලා ඇහුවා.

"නෑ ......මට එහෙම හිතුනා...ඒකයි"

"අපෝ නෑ !! මම තරහ නෑ !! මම හිතුවේ නුඹ මාත් එක්ක තරහින් ඇති කියලා !!"

එහෙම කිව්වට මම හිතින් කිව්වේ වෙනමම එකක්. "ඇති යන්තන් !! එහෙමවත් දෙයක් තේරෙනවා.....ඔය කරන වැඩ වලට තරහ ගන්නේ නැතුව කෙනෙක් ඉන්නේ කොහොමද !! " හිතින් එහෙම හිතුවත් ඒ ටික කටින් නොකිය ඉන්න සාෂා පරිස්සම් උනා.

එහෙමත් කාලයක් තිබුණා නේද කියල මතක් වෙනකොට සාෂා ගේ ෆීනික්ස් හදවත බොහොම රිදෙනවා පාවෙල්.  ඒත් අඳුරු හෙවණැල්ලකට කරන්න බැරි දෙයක් නෑ කියල සාෂා දැන් දන්නවා. තව ටික කාලයක් යනකොට සාෂා ගේ හිතත් නුඹේ වගේම සීතල අයිස් කුට්ටියක් බවට පත්වෙයි කියල ඈ බොහොම බයයි. ඒ නිසා උණුහුම රඳවාගන්න ඈ ඉර එලිය යන්තමින් හරි තැවරුණ මතක අරන් ඉස්සරහම පෝලිමේ තියාගන්නවා පාව්කා. නුඹ ආපහු එනකන්, මම ,


~සාෂෙන්කා~

 

 

Monday, June 27, 2016

|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 13 ||


අද මම පෑන අතට ගත්තේ ටිකක් පහුවෙලා පාව්කා. ඒ මට ලියන්න දෙයක් හිතාගන්න බැරුවවත් ලියාගන්න බැරි තරමටම හිත බිඳිලා ගිහින් නිසාවත් නෙවෙයි. සාෂෙන්කාට බොහොම වෙහෙසයි. ඈට උණ ගැනිලා අදට දවස් දෙකක්. එත් දිනපොතේ එක පිටුවක්වත්  හිස් තියන්න ඇගේ හිත ඈට ඉඩ දෙන්නේ නෑ .

"සාෂා නුඹට බොහොම අමාරුයි. අද පිටුව හිස් තිව්වාට නපුරක් වෙන්නේ නෑ !! නුඹට කෙලින් ඉන්නවත් පණක් නෑ සාෂෙන්කා !! නුඹ ගැනත් ටිකක් හිතන්න පුරුදු වෙන්න" මගේ හිත මට බනින්න පටන් ගත්තා.

ඒ බැනිල්ල අසාධාරණයි කියන්න බෑ පාව්කා. මම මටත් වඩා මම නුඹ ගැන වද උන අවස්ථා ඕනෑ තරම් තිබුණා. ඒත් නුඹට ඒ කිසිම දෙයක් තේරුම් යන්න ඇති කියලා මට හිතෙන්නේ නෑ. නැගිටගන්න බැරුව ලෙඩ ඇඳට වැටුනමවත් මට නුඹ ගැන හිතන එක නවත්ත ගන්න බැරුව ගිහින්. දැන් නම් මට හිතෙන්නේ මම නරක හීනයක් දකිනවා කියලයි පාව්කා. නළලේ එකතු වුන පුංචි දාඩිය බින්දු පිහදානවටත් වඩා මට අමාරු උනේ උල්පතකින් වගේ ඇස් වලින් කඳුළු ගලන එක නතර කරගන්නයි. ඒ නුඹ නිසා උපන් කඳුළු  ද එහෙමත් නැතිනම් ඉවසන්න බැරි ඉසේ කැක්කුම නිසා ගැලූ කඳුළුද කියන්න මම දන්නේ නෑ පාව්කා. ඒත් ඇඳට වැටිලා ඉන්න නම් මට හිතක් නෑ. දුම් දමන සමොවරයක්  තරම්ම මම රස්නෙයි කියල මට දැනෙනවා. ඒත් ඇඳ විවේක ගන්න තරම් නිවාඩුවක් මගේ හිතට නෑ. දිනපොතේ අදට වෙන් වෙච්ච පිටුව පිරෙනකන් මගේ හිතට සැනසිල්ලක් නෑ.

අද පිටුව පුරවන්න වෙනදා වගේම නිමිත්ත නුඹයි පාව්කා. ඒත් අද ලියනවා කියල ලියන්න පටන් ගත්තු දේ වෙනුවට වෙනමම දෙයක් මට ලියන්න කියල හිත කියනවා. ඒ වෙන මොනදෙයක්වත් නිසා නෙවෙයි. දිනපොත අතට ගනිද්දි කකුල් දෙක පාමුලට වැටුන පරණ කඩදාසි කෑල්ලක් නිසා. දෙකට නවල තිබුන ලා කහ පාට කඩදාසි කෑල්ලේ තිබුණේ මගේ අත් අකුරු. බොහොම කලබලෙන් කුරුටු ගෑ පද කිහිපයක් එහි තිබුණා.

පාව්කා පාව්කා
නුඹට මා ඇහෙනවද
මගේ හිත ගිනි අරන්
එය නුඹට දැනෙනවද
කළු අසරුවා තවම
නුඹේ හිත ඇතුලේද
පාව්කා පාව්කා
කෝ කොහිද ගියේ නුඹ !

මේ පද මේ විදියට ලියවුණේ නුඹ අන්තිමටම මාත් එක්ක කතා කරපු දවසට පහුවෙනිදායි පාව්කා. එදා අපි අතර ඇති උනේ පුංචිම පුංචි කතා බහක් විතරයි. ඒ කතාබහෙන් පස්සේ ආයේ කතාවක් නැතිවෙයි කියලා සාෂා දැනන් හිටියා නම් !!! මට එක තප්පරේකටවත් එහෙම හිතුනේ නෑ පාවෙල්.

"මොකද ඊයේ දවසෙම පේන්නවත් හිටියේ නැත්තේ ??" මම ඇහුවා.

"පොතක් බැලුවා" නුඹ කිව්වා.

"මොකද්ද පොත ??"

"සුදු වලහා"

"ඒක පොඩි ළමයින්ගේ පොතක් නේ පාව්කා" මම හිනාව තද කරගෙන කිව්වා.

"ඒ පොත නෙවෙයි. වෙන පොතක්. අලුත් එකක්. මීෂා මට දුන්නේ" නුඹ කිව්වේ උත්තර දෙන්න තිබුණ උවමනාවට වඩා මගේ ප්‍රශ්න වැලෙන් ගැලවෙන්න කියලයි මට හිතුනෙ.

"කියවලා ඉවර වෙලා මටත් දෙනවද ??" මම ඇහුවා. "දැන් ඉතින් හිත රිද්දගෙන අඬන්න බලාගෙන ඉන්න සාෂෙන්කා !! නුඹට කොච්චර කිව්වත් තේරෙන්නේ නැති හැටි !! බබායිගා යකින්නට බාර දෙන්න තමයි දැන් වෙන්නේ" හිත හැමදාම වගේ මට දොස් කියන්න පටන් ගත්තා.

"බලමු"

ඔව් !! පාව්කා තනි වචනයෙන් උත්තර දෙන එක තරම් සාෂා අකමැති තවත් දෙයක් නොතිබුන තරම් !! එත් කළු අසරුවා හිතට රිංගලා හිටපු කාලෙක එක වචනයක් කියන්නෙත් සාෂාට බොහොම වටිනා දෙයක්. තරහ ගිය බවක් නොපෙන්වා ඈ නැවතත් පාව්කාට කතා කළා.

"බලමු කියන්නේ ඉතින් බෑ තමයි. ආයෙ මම නොදන්නවද ඕක !! කමක් නෑ මට පොත ඕන නෑ !!" මම කියාගෙන ගියේ එක හුස්මට.

"බෑ කිව්වේ නෑ . බලමු කියල කිව්වේ" නුඹටත් දැන් නම් තරහ ගිහින් කියල සාෂා ට හිතුණා.

මම ඊට පස්සේ නුඹට මොනවත් කියන්න ගියේ නෑ පාව්කා. මම යන්න ගියා. ඊළඟ දවසට ඉර පායලා පැය හතර පහක් ගතවුනා. එදා මම අහපු එකම ප්‍රශ්නෙකටවත් නුඹ උත්තර දුන්නෙ නෑ . මම කියපු එකම එක වචනයක්වත් නුඹ අහන් හිටියා කියලවත් මට හිතුනේ නෑ . මම තරහ නෑ පාව්කා. මම වරදක් කළාද කියන්න මට තේරුමක් නෑ . ඒත් එදා ඉඳන් අද වෙනකන් නුඹ එකම වචනයක්වත් මා එක්ක කතා කළේ නෑ. කළු අසරුවාගේ කීම පිළිගන්න එපා පාව්කා !! සාෂාට සමාවෙන්න !! කකුල් දෙක ලඟට වැටුණු ලා කහ පාට කඩදාසියේ තිබුණේ නිකම්ම නිකන් වචන ටිකක් නෙවෙයි පවුලූෂා. පණ පොවපු හැඟීම් !! අදට මම නවතින්නම්. නුඹට ආයුබෝවන් !!  ‌


~සාෂෙන්කා~

 

 


Sunday, June 26, 2016

 || සාෂෙන්කාගේ දිනපොතෙන් - 12 ||


මෙච්චර කාලෙකට ලියපු හැම පිටුවකම ඉඩ වෙන්වුනේ නුඹටයි පාව්කා. නුඹේ නම නැති පිටුවක් නැති තරම්. ඒත් මේ දිනපොතේ මගේ හිතේ තියෙන දේ මගේ අතින්ම නොලියවෙන එක ලොකු අඩුවක් කියල මගේ හිත මට කියන්න පටන් අරන්. මගේ හිතේ පිරිච්ච දේ බොහොමයි. ඒ දේවල් ලියල ඉවර කරන්න එක දිගහැරුමක් මදි වෙයි. දිග හැරුම් දෙකකුත් මදිවෙයි !! මම දන්නේ නෑ !! මේ මුළු දිනපොතමත් මදි වෙයි !! එච්චරට ගොඩක් දේ මේ හිතේ පිරිලා. සාෂාගේ අතින් අද ඈ ගැනම ලියන්නයි මේ සූදානම.

පුංචි කෙල්ලක් කාලේ මගේ හිත පාරාදීසයක් වගේ. නුඹ වගේ නෙවෙයි පාව්කා. මම හැම දෙයක් ගැනම හිතුවේ හරිම සැහැල්ලුවෙන්. නුඹ ඒ කාලෙත්  හැමදෙයක් ගැනම හරිම බැරෑරුම් විදියට හිතන්න පුරුදුවෙලයි හිටියේ. මම ආස කළේ පොප්ලර් ගස් හෙවණට වෙලා ඈතින් පේන වොල්ගාව දිහා බලන් ඉන්න, රතු පාට ලොකු බැලුමක නැගලා ලෝකේ වටේ යන්න - එහෙමත් නැත්නම් බෝට්ටුවක් නැගල වොල්ගාව දිගේ සවාරියක් යන්න !! සාෂා තවත් ආස කල දෙයක් තමයි සල්පිලේ තියන රතු බීම බීලා දිව රතුම රතු කරගන්න එක !! මේ එකක්වත් නැතිනම් බල්ලෙක් හරි පූසෙක් හරි හුරතල් කරන එක තමයි සාෂාගේ විනෝදාංශය උනේ. කුරුල්ලන් කූඩු හදනවා බලන් ඉන්නත් මම බොහොම ආස කළා. කවි ලියන්න වගේම පින්තුර කතා පොත් බලන්නත් සාෂෙන්කා හරිම කැමතියි. නුඹට ඒ එකම කවියක්වත් තේරෙන්නේ නෑ කියලා නුඹ මට දවසක්  කිව්වා. නුඹට ඒ  හැම දෙයක්ම පෙනුනේ "බොළඳ" වැඩ වගෙයි. පාවෙල් නිතරම කිවේ "සාෂා නුඹට නම් තියෙන්නේ ගිරා මොළයක්ම තමයි" කියලයි. ඒකට කමක් නෑ පාව්කා !! මම තරහ නෑ !! නුඹ බැලලයිකාව වයනවා වගේ මම ආස කලේ පියානෝව වයන්නයි. මම නුඹ වයනවා බලන් ඉන්න ආසා කලාට නුඹ මම වයනවා අහන් ඉන්න ආස කළාද කියලා මම දන්නේ නෑ.  

සාෂා පුංචි කෙල්ලක් කාලේ පාව්කා ඇයට විශේෂ යාලුවෙක් විතරමයි. පාව්කා අනිත් අයට වඩා වෙනස් නිසා බොහොම ලේසියෙන්  ඇගේ විශේෂ අවධානය දිනා ගත්තා. ඒත් සාෂා තවදුරටත් පුංචි කෙල්ලක් නෙවෙයි පාවෙල් !! ඇගේ හිතේ නුඹට බොහොම විශේෂ තැනක් තියෙනවා. බොහොම වෙනස් - විශේෂ හැඟීමක් ඇගේ හිතට රිංගලා !! නුඹ ඇගේ හිත ආක්‍රමණය කරලා !! හරියට නිකන් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා වගෙයි !! ඇගේ හිතේ හැම බිම් අඟලක්ම නුඹ යටත් කරගෙන පාව්කා. නුඹ දැකීමෙන් ඈ බොහොම කලබලයට පත් වුනා. කතා කලෙත් බොහොම පරිස්සමෙන්. සාෂා නුඹේ දෑස් දිහා බලන්න පොඩි කාලේ ඉඳන්ම බයයි. දැන් තත්වය තවත් වෙනස්. ඈ නුඹේ දිහා බලන්නේ නුඹට නොදැනෙන්නයි. ඇගේ වෙනස ගැන නුඹට වගක්වත් නෑ පාව්කා. නුඹට තිබුනේ පුදුමාකාර හිතක්. මේ කියපු කිසිම වෙනසක් නුඹට වෙනසක් නොවුණු ගානයි. නුඹ එක්ක කතා කරද්දී ඇගේ හදවත බොහොම වේගයෙන් ගැහෙන්නට උනා. ඈ බොහොම බය උනා ඈට වගේම නුඹටත් ඒ සද්දය ඇසේවි කියා. නුඹ සාෂෙන්කාට කතා කල හැම වාරයක් පාසාම ඇගේ දෑත් අයිස් කැට දෙකක් වගේ සීතල උනා. නුඹ ගැනම සොයා ඈ බොහොම වෙහෙසට පත් වුනා. පාරාදීසයේ රජ කම නුඹට පැවරිලා පාවෙල් !! ඒත් නුඹ දන්නෙවත් නෑ !! දැන් ඒ පාරාදීසයේ රතු බැලුම් වලට ඉඩ නෑ . කවියට සහ පියානෝවට  පමණක් එහි තවමත් ඉඩ ඉතුරු බව සාෂෙන්කා දැනගෙන හිටියා. වෙනදා වගේ ගිරවියක් වෙන්න සාෂාට බැරුව ගිහින්. මේ හැම දෙයක්ම මෙහෙම වෙන්න පටන් ගත්තේ හරියටම මීට අවුරුදු දෙකකට උඩදි පවුලූෂා !! මේ වෙනස්කම් ඔක්කොම එක්ක කාලය ගෙවිලා ගියා.නුඹේ වෙනසක් නෑ . ඒත් සාෂෙන්කා එන්න එන්නම වෙහෙසට පත්වුණා. ඇගේ කවි හිත හැමදාම අවදියෙන්. බොහොම දාට ඈ  ඇගේම හදවතට තට්ටු කරලා හදවත එක්ක දොඩමලු උනා. ඒ හැමදෙයක්ම කවියක් කරලා පරිස්සමට ලියා තැබුවා. 

ඇයිද නුඹ බලන්නේ  - දවසේම මා දිහාම 
ඉවර වෙන්නෙම නැතිද  - තවත් ඔය කල්පනාව 
යාවි මම යන්නම - හෙට අනිද්දා දිහාට 
එදාටත් නැතිවේද  -ඉවරයක් ඔය ලියැවිල්ල
හැඩි වෙලා හැමතනම - විසිරිලා කඩදාසි 
රැළි නැගී නළලතට  - රැඳී එහි දා බිඳිති 
සුදු පාට කොලයකට  - කොටුවෙලා හිතේ මිමි 
තවත් ඇයි නොලියන්නේ  - අමතකද පද පේළි
පිළිවෙලට අහුරාපු  - රාක්කෙම එක කොනක 
තාම මට පේනවා  - රාමු කළ සිහිවටන 
අමතකයි කියාගෙන  - හිත තවත් රවට්ටන 
සෙල්ලමක අතරමග  - හිරවෙලා නොවෙද ඔබ

ඒත් මොකද්දෝ අවිවේකි බවක් සාෂා ට දැනුනා. සතුටක් හෝ දුකක් නැති මහා ගුප්ත හැඟීමකින් ඇගේ හිත පිරිලා. ඈ බොහොම ඉවසීමෙන් නුඹ දිහා බලන් හිටියා. මේ විදියට දවස් ගානක් එළිවෙන්න රෑ වෙන්න ඇති. එහෙම එලි වෙච්ච එක දවසක සාෂෙන්කා මුලින්ම කළු අසරුවාගේ හෙවණැල්ල පව්ලූෂා අසලින් දකිනවා. එදා ඉඳන් හැමදාම ඒ හෙවණැල්ල එන්න එන්නම තද පාට උනා !! අන්තිමට කළු අසරුවා නුඹේ හිතේ පදිංචි උනා පාව්කා !!! සාෂෙන්කාගේ හදවතට විෂ කැවූ කිණිස්සක් කිඳා බැහැලා. කළු අසරුවාගේ විෂ කැවූ කිණිසි දෙකෙන් එකක් සාෂා ගේ හදවතේ !! අනික පාව්කාගේ හිත ඇතුලේ !! සාෂා නුඹට කතා කරන්න කොපමණ උත්සාහ කලත් නුඹ නොවෙයි එකම එක වචනයක් වත් කතා කළේ. සාෂෙන්කා බොහොම කම්පා උනා. ඇගේ ආදරණිය යමහල යන්න යනවා කියල ඇය තේරුම් ගත්තා. මට තවමත් මේ හැමදෙයක්ම හරිම ප්‍රහේලිකාවක්  පාව්කා. නුඹ ටිකින් ටික බොහොම වෙනස් උනා. ඒ වෙනසෙන් නුඹ ගලවගන්න නුඹ අහලකටවත් මට එන්න නුඹ ඉඩ දුන්නේ නෑ . නුඹේ හිත ඇතුලේ ගිනි ඇවිලෙනවා කියලා මට හිතෙනවා. ඒත් මගේ හිත එක පාරක් මැරිලා ගිහින් නුඹ වෙනුවෙන් ආයෙමත් ඇවිත් !! ඒ ෆීනික්ස් කිරිල්ලියන්ගේ හැටි පාව්කා !! තවමත් කිණිස්ස එහෙමමයි. විෂත් තවම එහෙමමයි.  විෂ පැතිරෙන එක මට නතර කරන්න බෑ පාව්කා. ආපහු යන්න කාලය බොහොම ඉක්මණින් ඒවි. ඒත් යන්න කලින් ප්‍රහේලිකාවේ හිස් කොටු ටික පුරවගන්න මට උදව් කරන්න පාව්කා. කලින් පාරාදීසයක්ව තිබුන සාෂෙන්කාගේ හිත දැන් ඇගේම සොහොන් බිම බවට පත්වෙලා. උත්තර කියන්න අකමැතිම නම් එකම එක පාරක් හිනාවෙලා යන්න කලින් මට අතවනන්න විතරක් කළු අසරුවාගෙන් අවසර ඉල්ලා ගන්න ආදරණීය පවුලූෂා!! 


~සාෂෙන්කා~



Saturday, June 25, 2016

|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 11 ||


මේ මගේ දිනපොතේ එකොළොස්වන දිග හැරුමයි. මගේ දිනපොත උනාට ඒ දිනපොතේ පිරිලා තියෙන්නේ නුඹ ගැන විස්තර විතරමයි. නුඹේ නම නැති එක පිටුවක්වත් එහි නැති තරම් පාව්කා. දිනපොතේ තවත් බොහොම පිටු ඉතිරියි. ඒ හිස් පිටු පිරෙන්න ලියන්න තව ගොඩක් දේවල් සාෂෙන්කාගේ හිතේ පිරිලා තියෙනවා. අනිත් කිසිම කෙනෙකුටත් වඩා නුඹට පිහිටලා තිබුණේ හරිම වෙනස් පුරුදු. සාෂා මේ හැම දෙයක්ම බොහොම විස්තර ඇතුව දැනගෙන හිටියා. මම දන්නා දවසේ ඉඳලම නුඹ බොහොම පිළිවෙල චරිතයක්. පිළිවෙලට අඳින්න පළඳින්න වගේම පිරිසිදු පෙනුමට ඉන්නත් නුඹ අමතක කළේ නෑ පාවෙල්.  වාසනාවකට වගේ තාමත් ඒ පුරුදු නුඹත් එක්ක නතර වෙලා. නැත්නම් නුඹ මේ ඉන්නවටත් වඩා බොහොම වෙනස් වෙනවා කියල මට සහතිකයි. නුඹේ නිල් පාට කොටු කමිසයට තමයි සාෂා වඩාත්ම ආස කළේ. ඒ කමිසය නුඹට හොඳට ගැළපෙනවා කියලයි මට හිතුනෙ. ඒත් නුඹ ඒක පිලිගන්නත් අදිමදි කළා පාව්කා !! 
ඒ නුඹේ හැටිනේ !! 

"ඔය නිල්පාට කමිසය නුඹට හොඳට ගැලපෙනවා පාව්කා" මම කිව්වා.

"ඇයි?" නුඹ මගෙන් අහනවා. 

පාව්කා කවදත් බොහොම අඩුවෙන් කතා කල කෙනෙක්. "ඔව්" "හා" "නෑ" "ඇයි" "හ්ම්" "ආහ්" තමයි නුඹේ ප්‍රියතම පිළිතුරු උනේ.  නුඹ "ඇයි" කියල ඇහුවම ඒ අහන්නේ "ඇයි එහෙම කියන්නේ?" කියලා සාෂා දැනගෙන හිටියා.

"ඇයි කියන්නේ ඉතින් !!" මම තරහෙන් කිව්වා.

" මම මොනදේ කිව්වත් නුඹ මගෙන් අහන්නේ ඇයි කියල තමයි !! පාව්කා ඇත්තටම නුඹට ඔය ප්‍රශ්නේ ඇරෙන්න වෙන ප්‍රශ්නයක් ඇත්තෙම නැද්ද අහන්න" 

"නෑ" නුඹ සරදමට හිනාවෙමින් කිව්වා.

"එතකොට මම කියන හැමදේම මම පැහැදිලි කරන්න ඕනද ??" මම පුදුමෙන් ඇස් ලොකු කරගෙන ඇහුවා.

"ඔව්"

"හොඳට තියෙයි !!" මම හිනාවෙවී කිව්වා. "ඇයි" කියලා අහන්න වගේම කිසිම ගැලපීමක් නැති උත්තර දෙන්නත් නුඹට තිබුනේ පුදුමාකාර හැකියාවක්. කොහෙත්ම නොගැලපෙන වෙලාවක "හා" කියන එකත් අන්න ඒවගේ එකක්. ඒ වෙලාවට මට බොහොම තරහ ගියත් මම හරිම සන්සුන්ව ඉන්න උත්සාහ කළා පාව්කා. සමහර වෙලාවට නුඹ ලොකු කල්පනාවක ඉන්න වෙලාවට නළල දෙපැත්තට වෙන්න තිබුණු කොණ්ඩ කෑල්ලක් අල්ලගෙන කරකවන්න පුරුදු වෙලා හිටියා පාව්කා. දැන් මම ඒ ගැන නුඹට කියන්න ගියොත් නුඹ කියන්නේ "මම එහෙම කරනවද ?? නෑ !! එහෙම නෑ " කියල බවත් මම දන්නවා. ඉස්කෝලේ තිබුන හැම විභාගයකදිම වගේ නුඹ වමතින් කොණ්ඩය කරකනවා මම බලාගෙනයි !! ඔන්න එතකොට සාෂා දන්නවා පාව්කාට උත්තර මතක නැති වෙලා එහෙමත් නැතිනම් ප්‍රශ්නයම ලොකු ප්‍රශ්නයක් වෙලා කියලා. 

තවත් දවසක ඔන්න තවත් ලොකු සංවාදයක් !! සාෂා බල්ලොන්ට වගේම පූසොන්ටත් අසීමිත ලෙස ආදරය කළා කියලා ඈ හඳුනන හැමෝම පාහේ දැනගෙන හිටියා. ඒත් පාව්කා ?? ඔන්න මට ලොකු ප්‍රශ්නයක්!!. 
"පාව්කාට සුරතල් බල්ලෙක්වත්  පූසෙක්වත් හිටියේ ඉන්නවද ? අඩුමතරමේ වෙන මොන ජාතියක හරි සුරතලෙක් ??" මම තනියම උත්තර හොයන්න පටන් ගත්තා. "සාෂා, හොඳට කල්පනා කරල බලන්න !! නුඹ කවදක හරි දැකල තියෙනවා ද පාව්කා බල්ලෙක් වත් පූසෙක්වත් හුරතල් කරනවා ?? නෑ නේද ??....හ්ම්.......ඒවා බොළඳ වැඩ කියලනේ පාව්කා හිතනවා ඇත්තේ !!" මට කල්පනා කරන්නවත් ඉඩක් නොදී හිත කියාගෙන කියාගෙන ගියා. අන්තිමට මම තීරණය කළා නුඹගෙන්ම අහල දැනගන්න. 

"පාව්කා නුඹට සුරතල් බල්ලෙක්වත් පූසෙක්වත් නැද්ද ??" මම හරිම කුතුහලෙන් ඇහුවා.

"නෑ !! මම උන්ට කැමති නෑ !! ඇයි ?"

"ඇයි තමයි !!" මම හිතින් නුඹට හොඳටෝම බනින්න පටන් ගත්තා. "පුදුමෙක හැටි !! අහිංසක සතෙක් ගැනවත් අනුකම්පාවක් නැති මනුස්සයෙක්. එක අතකට මොකට පුදුම වෙනවද. ඒ පාව්කා නේ !! ඔන්න මිෂා මෙහෙම කතාවක් කිව්වා නම් පුදුම උනාට කමක් නෑ සාෂා !! මොකද මීෂා සාමාන්‍ය ගති පැවතුම් තියන කෙනෙක් නේ !!" මම හිතාගෙන හිතාගෙන ගියා.

"ආහ් !! එහෙමද !! මට හිතුනා එහෙම වෙන්න ඇති කියලා" මම හිතේ තිබුන තරහ යටපත් කරගෙන හරිම අමාරුවෙන් උත්තර දුන්නා. මම "ඇයි" කියලා පෙරලා අහන්න ගියේ නෑ !! නුඹ මගෙන් "ඇයි" කියන ප්‍රශ්නේ නිතරෝම ඇහුවට මම නුඹෙන් "ඇයි" කියල ඇහුවේ හරිම අඩුවෙන්. එහෙම කලේ මට කුතුහලයක් නොතිබුන නිසා නොවෙයි පාවෙල්. මම බය උනා එහෙම ඇහුවොත් නුඹට කේන්ති යයි කියලා. මම වඩාත් බය උනා නුඹ සාෂා එක්ක තරහ වෙයි කියලා. ඒ නිසා හැමදාම මම නුඹෙන් අහන්න ගිය  ප්‍රශ්න වලින් හතරෙන් තුනක් විතරම ගිලගත්තා. ඒ බොහොමයක් ප්‍රශ්න අද වෙනකන්ම උත්තර නැති ප්‍රශ්න වෙලා. එහෙම  උත්තර නැති ප්‍රශ්න ගොඩ එන්න එන්නම වැඩි වෙනවා පව්ලූෂා !! නුඹ උත්තර දෙනකන් ඒවා හැමදාම එහෙම තියේවි. උත්තර නොදුන්නොත් ඒවා කවදකහරි මාත් එක්කම පොලවට පස් වෙලා යාවි.

අනේ පාව්කා !! මට බොහොම දුකයි !! දැන් මට මේ ලියන හැමදෙයක්ම මතකයක් විතරක්ම වෙලා !!  ආයේ කවදාවත්ම නුඹ මට කතා කරන්නේ නැතිවෙයි කියල පිළිගන්න මම කැමති නෑ. වොල්ගාව දිහා බලාගෙන මම කොපමණ නම් ගයන්න ඇතිද ?? කොපමණ නම් ලියන්න ඇතිද ?? ඒ  හැමදේකටම බොහොම වෙලාවට නිමිත්ත උනේ මගේ ආදරණිය යමහල - නුඹයි !! සාෂෙන්කාගේ ගේ හිත එන්න එන්නම සීතල වෙනවා පාව්කා !! ඇගේ හිත සීතලට මිදිලා යන්න කලින් එකම එක පාරක් නුඹේ බැලලයිකාව ඈ වෙනුවෙන් වයන්න පාව්කා !! වොල්ගාව අසබඩ ඈ තවමත් නුඹ එනකන් මග බලාගෙන.


~සාෂෙන්කා~





Friday, June 24, 2016

|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 10 ||


නුඹ කරන කියන දේවල් මතක් වෙන්න ගත්තම මට ඉවසුම් නැතුව යනවා පාවෙල්. නුඹේ දකින පොඩි වෙනසක් පවා මට කල්පනා ලෝක වල අතරමං වෙන්න ලොකු හේතුවක් උනා. මේ දිනපොත ලියන්න ගත්තේ හිතේ තියෙන දුක නැති කරගන්න හිතාගෙන නෙවෙයි පාව්කා. මම තවමත් කැමති නෑ මගේ ආදරණිය යමහල යන්නම යන්න ගිහින් කියල පිළිගන්න. මට උවමනා වෙලා තියෙන්නේ වඩාත්ම දීප්තිමත් මතකයන් මතක් කරගන්නයි. නුඹට කවදා හරි මේ දිනපොත කියවන්න පුළුවන් කමක් ලැබුනොත් එදාට නුඹට සාෂා ගැනත් කළු අසරුවා කිට්ටු වෙන්න කලින් නුඹ  ගැනත් බොහොම දේ මතක් කරගන්න පුළුවන් වෙයි පාව්කා. මට ඉතිරි වෙලා තියන කාලෙන් පුළුවන් හැමදවසකම මම මේ දිනපොත අලුත් කරනවා. නුඹ සාෂාව හොඳ කිවිඳියක් කළා පාවෙල්. පුංචි පුංචි කවි ලියමින් හිටි ඈට කවි ලියන්න නුඹ බොහොම හොඳ නිමිත්තක් උනා. නුඹට බොහොම ස්තුතියි පාව්කා !! එහෙමත් නොවෙන්න සාෂා තවමත් කියා ගන්න බැරි දුකක් හිතේ හංගගෙන මුනිවත රකිනවා. එහෙම ලියපු පද පේළි වලින් මගේ හිත වඩාත්ම කැමති උනේ ෆීනික්ස් කිරිල්ලී පද පෙළටයි.

නැසී ගොස් ශේෂ වූ 
මතක අළු දූවිලි මතින්
නැවත නෑ ඉපදුනේ ඇය 
ෆීනික්ස් කිරිල්ලක ලෙසින් 
ශේෂ වුණු නොවටිනා අළු 
දූලි කඳු වලට එපිටින් 
ඇත තවත් ලෝකයක් 
ගිනිගෙනත් තව නො දැවෙමින් 
තැති ගැනී උණුහුමට 
හඬන හිම කැටක් මෙන් 
නො හඬන්න මුවාවී 
ව්‍යාජ මදහසට රහසින් 
වළලන්න ශේෂ වූ 
මතක අළු විගසින් 
කෝ කොහිද නුඹ ගියේ 
මටත් හොර රහසින් !!

මටත් තියෙන්නේ ෆීනික්ස් හදවතක් පාව්කා. නැතිනම් මම යන්න ගිහින් බොහොම කල්. හිතින් මියගිය හැම වාරයක් පාසාම මම තවත් ශක්තිමත් වෙලා නැගිට්ටේ හරියට ෆීනික්ස් කිරිල්ලක් වගේ කියලා මට හිතෙනවා. ඒ කොහොම වෙතත් අද දිනපොතේ මගේ අතින් ලියවෙන්නේ මේ ටික විතරක් උනොත් මේ පිටුවට ඉර එළියක් නැතුව යනවා පාව්කා. නුඹේ හිතට උන දේ මේ දිනපොතට වෙනවා දකින්න මගේ කැමැත්තක් නෑ පාව්කා !! මතක ගබඩාවේ දුව ඇවිද සොයගාත් මතකයක් ලියා තබන්නට අවසරයි !!

අපි ඉස්කෝලේ  ඇරිලා ගෙදර එමින් හිටියේ. නුඹ මටත් වඩා දුරක් පයින් ඇවිදන් යා යුතුව තිබුණා. වෙනදාට නම් මම නුඹට සමුදෙන්නේ "ආයුබෝවන් පාව්කා!" කියලයි. ඒත් එක එක දවසට මට හිතෙන හිතෙන දේ කියන්න මම පුරුදුවෙලා හිටියා. නුඹට නම් මේ කෝකත් එකයි කියලා මම දැනගෙන හිටියා. සමහර දවසට නුඹ සුබ පැතුම ඇහෙන්නේවත් නෑ වගේ දිගටම ඇවිදන් යනවා. එදාට ඔන්න මට බොහොම කේන්ති යනවා.

"ඉන්නවකෝ......හෙට නම් ආයුබෝවන් කියනවා තියා මූණවත් බලන්නේ නෑ. නපුරු පාව්කා" මම හිතුවා. 

එත් ඒ නුඹේ හැටි කියලා සාෂා දන්නවා. සාෂා නුඹට කැමති වුනෙත් නුඹේ ඒ අමුතු විලාසෙට. සමහර දවසට නම් නුඹ කට කොනෙන් හිනා වෙනවා !! ඒත් කටින් වචනයක් ගන්න එක ඉබ්බාගෙන් පිහාටු ගන්නවා වගේ වැඩක් !!

එක දවසක් මම නුඹට කියනවා "පරිස්සමෙන් යන්න පාව්කා".

හරි පුදුමයි !! කවදාවත් පිහාටු නොදෙන ඉබ්බා පිහාටුවක් දෙන්නයි ලෑස්තිය !! 

"පරිස්සමෙන් යන්න කියන්නේ ඇයි ??" නුඹ ඇස් ලොකු කරගෙන ඇහුවා.

"ඇයි එහෙම කියන්න හොඳ නැද්ද ??" මමත් පෙරලා ඇහුවේ කොහේදෝ ඉඳන් ඇවිත් එක පාරට මූණට රිංග ගත්තු පුදුමය නුඹට නොපෙන්වා ඉන්න උත්සාහ කරමින්.

"එහෙම නෙවෙයි !! ඇයි එහෙම කියන්නේ කියල ඇහුවේ !!" 

"එහෙම කියන්නේ පරිස්සමින් යන්න ඕන නිසා" මම කිව්වා.

"හ්ම්" නුඹ නුඹේ ප්‍රියතම උත්තරය දුන්නා.

"එහෙම යන්න බැරි නම් මට කමක් නෑ " කියමින් මම හරස් පාර දිගේ පහලට යන්න පිටත් උනා.

"මගදී වෙන දේවල් ගැන විශ්වාසයක් තියන්න බෑ සාෂා !! ඒකයි මම එහෙම කිව්වේ" නුඹ කිව්වා.

"ඒත් කමක් නෑ නුඹ පරිස්සමින් යන්න.මම යනවා පාව්කා"

සාෂෙන්කාගේ හිත සතුටින් පිරිලා. ඒ නුඹ ඇගේ සුබ පැතුමට ප්‍රතිචාර දැක්වූ නිසාද නැතිනම් ඈ වඩාත් ආසා කළ හිනාව ඈට දකින්න සැලැස්වූ නිසාද කියා ඈ දන්නේ නෑ . මේ සිදුවීම සිදුවෙලා බොහොම කල් ගතවී ගියත්, මට කවදාවත්ම ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න පුළුවන් උනේ නෑ . මම හැමදාම හිතුවේ "හෙට නම් මම පාව්කා ආවත් නාවත් හිනා උනත් නැතත් ආයේ හොයන්න යන්නේ නෑ " කියලමයි. එත් කවදාවත්ම සාෂාට එහෙම ඉන්න බැරි උනා පාවෙල්. ඈ අන් කාටත් වඩා නුඹ ගැනමයි සොයා බැලුවේ. 

ඒ නිසාම කළු අසරුවාගේ ආක්‍රමණයත් එක්ක ඇය බොහොම අසරණ උනා. සාෂෙන්කා බොහොම ලොකු දුකකට පත්වුනා. නුඹේ වෙනස් වීම විෂ කැවූ කිණිස්සක් වෙලා ඇගේ හදවතේ ගැඹුරටම කිඳා බැස්සා. ඒත් තවමත් ඒ ෆීනික්ස් හදවත ඇගේ ආදරණිය යමහල එනකන් මග බලාගෙන !!! සාෂෙන්කා තවමත් මග බලාගෙන පව්ලූෂා !!! එකම එක පාරක් හරි නුඹේ හිතේ නුඹට දැනෙන කවියක් ලියන්න සාෂාට ඉඩ දෙන්න පාව්කා !! විෂ බොහොම වේගයෙන් පැතිරෙනවා පව්ලූෂා. අදට නුඹට ආයුබෝවන් !! 

~සාෂෙන්කා~



Thursday, June 23, 2016

|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 9 ||


මම හිතුවේ ගොඩක් දේවල් මතක තියාගන්න පොඩි හිතකට හරිම අමාරුයි කියලා. එහෙම හිතන්න ලොකුම හේතුව, ඉස්සර අපට ඉස්කෝලෙදි උගන්නන හැම දෙයක්ම මතක තියාගන්න එක මට හරිම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන නිසා !! එත් මේ දිනපොත ලියන්න ගත්ත දා ඉඳන් මට මගේ හිත ගැනම පුදුම හිතෙන්න පටන් අරන් පාව්කා. අපි බොහොම කැමැත්තෙන් වැළඳගන්න ගන්න දේට හිතේ ගොඩක් ඉඩ තියන හැඩයි !! මේ තාක් ලියපු හැම දෙයක්ම මගේ හිතේ හරිම වර්ණවත් විදියට තැන්පත් වෙලා තිබුණ මතක. හරිම පොඩි දේවල් පවා මට හොඳටම මතකයි. නුඹේ හිනාව ඒ අතරින් විශේෂයි පාව්කා. සාෂා ගේ හිතේ ලොකුම ඉඩක් අරන් තියෙන්නේ නුඹේ හිනාව කියල මට හිතෙනවා. මොකද්දෝ හේතුවකට නුඹේ දෑස් දිහා කෙලින් බලන්න මම බයයි පාවෙල්. බැලලයිකාව වයද්දී නම් ඒවා ලස්සන පුංචි තරු කට දෙකක් වගේ දිලිසෙනවා !! මගේ හිත නිතර මට කිව්වෙම නුඹේ ඇස් "කතා කරන" ඇස් කියලයි. නුඹේ ඇස් ගැන මතක්වෙද්දී මට වැඩිපුරම මතක් වෙන්නෙ ගණන් පාඩමක් පාව්කා !!

එක දවසක් නුඹ හරිම හදිස්සියෙ මගෙන් අහනවා, "සාෂා, මට මේ ගණන් ටික කියලා දෙන්න පුළුවනිද ?" නුඹේ හැටි හොඳට දන්න මට මේක ලොකු ප්‍රශ්නයක් !! ඇරත් වෙනදාට නුඹ ගණන් අහන්නේ මීෂගෙන් මිසක් මගෙන් නෙවෙයි !! "පාව්කාට මොකද මේ වෙලා තියෙන්නේ" මම කල්පනා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ හැමදාම වගේ මගේ හිතේ චිත්‍ර කතාවක් !! "ඇයි පාවෙල් මීෂගෙන් අහන්නේ නැතුව මගෙන් අහන්නේ ??............මීෂා තරහ වෙලාවත්ද ?? නෑ ...වෙන්න බෑ නේ . මේ පණ්ඩිතයා අමුතු උනාට මීෂා හොඳට ඉවසන කෙනෙක් නේ" මම එක දිගටම හිතාගෙන හිතාගෙන යනවා. කොච්චර වෙලාවක් යන්න ඇතිද කියල මට වගේ වගක් නෑ !! වෙනදාට පාව්කා කරන වැඩේ මම අද කරන්න පටන් අරගෙන !! ඔව් !! මම ලොකු කල්පනාවක !!

"සාෂා ?? නුඹට පුළුවනිද ?? බැරිද ??" බලා ඉන්න බැරිම තැන පාවෙල් ආයෙම මගෙන් ඇහුවා. ඔන්න එතකොට මට මතක් උනා මම නුඹට උත්තරයක් නොදීපු වග. 

"පුළුවනි පාවෙල්. මට පුළුවනි. මම හෙට උදේම කියලා දෙන්නම්". මම හරිම කලබලෙන් කිව්වා. 

"පොප්ලර් ගස් පේළිය එහාපැත්තෙ හෙවණට එන්නම් මම" නුඹ කිව්වා.

 "ආයුබෝවන් පාව්කා" මම කිව්වා.

නුඹ කට කොනෙන් හිනා වෙලා යන්න ගියා. නුඹට ගණන් පාඩමක් කියල දෙන්න යන එක ගැන මේ ගිරා මොලේ හොඳටම කලබල වෙලා !! නුඹ අහන ලොකු ප්‍රශ්න මේ ගිරා මොලේට ඔරොත්තු දෙන්නේ නැති වෙයි කියලා සාෂා බොහොම බය වෙලා. සාෂාට එදා රෑ නින්ද නොගිය තරම්. කොහොමහරි ඔන්න ඊළග දවසට එලිවෙලා. මම පොත් දෙකත් අරගෙන පොප්ලර් ගස් ලඟට ගියා. 

"කෝ මේ පව්ලූෂා !! තාම ඇවිත් නැති හැඩයි " මම වාඩිවෙලා පොත බලන්න පටන් ගත්තා. ටික වෙලාවක් යද්දී නුඹ ඇවිදන් එනවා මම දැක්කා. මට පුදුමෙනුත් පුදුමයි. එදා මට තරහ ගියේ නෑ පාව්කා !! කොහොමින් කොහොම හරි සාෂා ගණන් පාඩම පටන් ගත්තා. මම නුඹට ගණන් කියලා දෙනවා. නුඹ හ්ම් සද්දයක්  නොකර අහගෙන ඉන්නවා. බැරිම තැන මම ඔලුව උස්සලා නුඹ දිහා බැලුවා !! නුඹ කිසිම හැලහොල්මනක් නැතිව මගේ දිහා බලාගෙන ඉන්නවා පාව්කා !! 

"මගේ දිහා නෙවෙයි. පොත දිහා බලන්න !!" මම විධාන කළේ පුංචි ගුරුතුමියක් වගේ !! නුඹ කලින් පොත දිහා බලාගෙන ඉන්න ඇති. එත් මටත් ඒ වෙලාවේ කියන්න වෙන කිසිම දෙයක් තිබුණේ නෑ පාව්කා !! ගිරවා හොඳටම කලබල වෙලයි හිටියේ. මම දිගටම කියල දෙනවා. එක පාරටම නුඹ අහනවා "ඇයි මේවා මේ විදියටම එකතු කරන්නේ ?? මේ පිළිවෙළ හැදුනේ කොහොමද ?? "

"අපොයි සාෂා !!නුඹ බයෙන් හිටපු දේම වෙලා !!" හිත මට හිනාවෙන්න පටන් ගත්තා.

"ඒක මම දන්නේ නෑ පාව්කා !! ඒත් මෙහෙම නැතුව මේවා හදන්න බෑ  කියල නම් මම දන්නවා" මම හරිම අහිංසක විදියට කිව්වා. ඊට පස්සේ පාඩම ඉවර වෙනකන්ම නුඹ එකම එක ප්‍රශ්නයක්වත් මගෙන් ඇහුවේ නෑ . ඒ නුඹට ඒවා තේරුණ නිසාද නැතිනම් නුඹට ඒවා එපා වුණ නිසාද කියන්න මම දන්නේ නෑ . පාඩම ඉවර වෙලා නුඹ කියනවා "නුඹට බොහොම ස්තුතියි සාෂෙන්කා !" මට හරිම පුදුමයි !! මොනවා කියන්නද කියල හිතා ගන්න බැරුව ගිරා මොලේ අසරණ වෙලා. ඒ වගේ වෙලාවට මම කරන ලොකුම දේ හිනාවෙන එක. ඒ නිසා මම බොහොම අහිංසක විදියට නුම එක්ක හිනා වුනා. නුඹත් පෙරලා මා එක්ක හරි ලස්සනට හිනා උනා පාව්කා. දැන් ඒ හිනාව මතක් වෙද්දි සාෂෙන්කාගේ ඇස් වල කඳුළු පිරෙනවා. ඒ හිනාව එක සැරයක් බලන්න සාෂා ඕනෑම දෙයක් කරන්න සූදානම්!! ආයෙම ඒ හිනාව අරන් සාෂා බලන්න එක සැරයක් ඇවිත් යන්න පාව්කා !! මගේ ආදරණිය යමහල , මට නුඹ නැතුව බොහොම පාළුයි !! මම ,


~සාෂෙන්කා~



Wednesday, June 22, 2016

|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 8 ||


නුඹේ වගතුග ලියන්න අරන් දවස් අටක්ම ගතවෙලා ගිහින් පාව්කා. කාලය යන ඉක්මන !! දවස් අටක් යනවා මට දැනුනෙත් නෑ . ඒත් තව ලියන්න දේ බොහොමයි. 

අපේ ගමේ සැණකෙළිය තියෙන කාලෙට තමයි මම වැඩිපුරම ආස කරේ. ඒ දවස් වලට හැමෝගෙන හිත සතුටින් පිරිල ඉතිරෙනවා. මූණු වල ඉර එලිය වගේ දීප්තිමත් හිනා පිරිලා !! මිනිස්සුන්ට වගේම වටේ පිටේ ගහ කොළ වලටත් ඒ වෙනස දැනිලා වගේ. හැම දෙයක්ම , හැම කෙනෙක්ම හරිම ප්‍රබෝධමත්. නුඹත් මමත් අහසයි පොළවයි වගේ උනාට අපි දෙන්නම බොහොම කැමති එක දෙයක් සල්පිලේ තිබුණා. පුංචි රවුම් බිස්කට් දෙකක් මැද්දට අයිස් ක්‍රීම් දාලා දෙන වෙළෙන්දෙක් ඒ සල්පිලේ හිටියා. ඒ වෙළෙන්දාගෙන් අයිස් ක්‍රීම් කන්න නුඹ බොහොම ආස කළා පාවෙල්. මේ වගේ ගමට සැණකෙළිය ආපු එක දවසක නුඹ මාවත් අඬගහගෙන අයිස් ක්‍රීම් කන්න ගියා.

"සාෂා, සැණකෙළියට යමුද ??"

"යමු !! ඒත් අපි සැණකෙළියට යන්නෙ අයිස් ක්‍රීම් කන්නනේ !!"

"ඉතින් මොකද !!" එහෙම කියලා නුඹ හයියෙන් හිනාවුණා  පාව්කා. 

සාෂෙන්කා කවදත් කැමති උනේ නුඹේ අන්න ඒ  හිනාවට. ඒ හිනාව දකින කෙනෙක්ට පෙරළා හිනා නොවී ඉන්න බෑ පාව්කා !! නුඹ හිනා වෙලා ඉවර වෙන්නත් කලින් මට තව ප්‍රශ්නයක් !! 

"පාව්කා, අපි යන්නෙ අයිස් ක්‍රීම් කන්න විතරම ද ??" නුඹගෙන් උත්තරයක් ගන්න මට දෙපාරක්ම ප්‍රශ්නේ අහන්න සිද්ද වුනා. 

"පා .....ව්ව්ව්ව්....කා, අපි යන්නේ අයිස් ක්‍රීම් කන්න විතරම ද ??" මම කලින්ට වඩා ටිකක් සද්දෙට ඇහුවා.

"හ්ම්" නුඹ උත්තර දුන්නෙ වැඩි ගානක් නැතුව කියල මට හිතුනා. 

"මොකද බකමූණෙක් වගේ ??" 

දැන් නම් ඔන්න මට තරහ යාගෙන එන්නේ පාව්කා. නුඹ මම අහන ප්‍රශ්න වලටත් "මෝඩ" උත්තර දෙනවා. ඒ මදිවට පැයට හැතැක්ම සීයක දෙසීයක වේගෙන් ඇවිදගෙනත් යනවා !!! 

"ඇයි මම බකමූණෙක් ද කියලා ඇහුවේ ??? හ්ම් කිව්ව නිසාද ??" අපොයි පාවෙල්  !! නුඹ දැන් මගෙන් අහන්නේ අර ලුද්මිලාගේ පොඩි මල්ලිට උනත් තේරෙන විදියේ ප්‍රශ්නයක් නේ. 

"නැතුව ! ඒ නිසා තමයි" මම කිව්වා. 

නුඹ ආයෙමත් "හ්ම්" කියල කිව්වේ මාව තරහ ගස්සන්න කියල මට තේරුනා පාව්කා !! "සාෂා, ඕවට නම් අහුවෙන්න එපා !! නුඹට තරහ ගියාම නතරවෙන්නේ අඬලා බව මතක තියාගන්න" ආයෙමත් මගෙ පණ්ඩිත හිත කියවන්න පටන් ගත්තා. කොහොමින් කොහොම හරි අපි සැණකෙළියටත් ඇවිත්. මිනිස්සු හැමතැනම !! එක එක විදියේ සෙල්ලම්  වගේම එක එක ජාතියේ කෑම බීමත් පිරිලා !! ඒ ඔක්කොටම වඩා මගේ හිත ගත්තේ පාට පාට බැලුම් !! 

"පාව්කා අරරර........අනේ බලන්නකෝ !! පාට පාට බැලුම්!! " මගේ ඉවසීම නැතිම වෙලා ගිහින්, මම එහෙම කිව්වා. 

"ආ....මෙන්න. කන්න. අද වෙනදාටත් වඩා අයිස් ක්‍රීම් දාලා සාෂා !!" මම අයිස් ක්‍රීම් එක අතට ගන්න හදවත් එක්කම කොහේදෝ නැති කිමුහුමක් කඩාගෙන බිඳගෙන දුවගෙන එනවා කියලා මට දැනුනා. "සාෂා ...ඔය කිමිහිල්ල නතර කරගත්තේ නැති උනොත් එහෙම නුඹට බිස්කට් දෙක විතරයි කියල මතක තියා ගන්න" හිත කිව්වා. අවාසනාවක මහත !! හිතන්නත් කලින් කිමිහිල්ල එළියේ !! "හාආආආ........චී.............න්" මම හරිම අසරණ විදියට නුඹ දිහා බැලුවා. 

"ඔහොම කොහොමද අයිස්ක්‍රීම් කන්නේ !! සාෂා නුඹට හෙම්බිරිස්සාවක් හැදෙන්නයි යන්නේ !!" මම මොකුත් කියන්නත් කලින්ම නුඹ මගේ අයිස්ක්‍රීම් ටිකත් අරගෙන. 

මට යන්තන් බිස්කට් දෙකේ ගෑවුන ටික විතරමයි. මම මූණ දෙක කරගෙන නුඹ කන දිහා බලාගෙන හිටියා පාව්කා. අන්තිමට මට බැලුමකුත් නෑ . මම බිස්කට් දෙක කටේ ඔබාගෙන යන්න පිටත් උනා. කවදාවත් නැතිව නුඹ මුලින් කතා කරන්න පටන් ගත්තා පාව්කා !! 

"සාෂා, නුඹ තරහ නෑ  නේද ??" 

"ටිකක් තරහයි !!"

"නුඹ අසනීප උනා නම් නුඹට පල්ලියේ උත්සවේ දාට ගයන්න බැරුව යනවනේ සාෂා!! ඒකයි නුඹට කන්න නොදුන්නේ "

"ආ....මට ඒක අමතකම උනා පාව්කා. කමක් නෑ වෙන දවසක කමු"

"හ්ම්"

මට හරිම ප්‍රහේළිකාවක් පාව්කා. නුඹට තියෙන්නේ ගල් හිතක් කියල මගේ හිත කිව්වට ඒක එහෙම නෙවෙයි කියල කියන්න  ඕන තරම් දේවල් මම දන්නවා. ඒත් දැන් නම් මගේ ඉස්සරහ, මට පේන්න ඉන්න පාව්කා බොහොම වෙනස් කියල කියන්නත් දේවල් මම දන්නවා. අලුත් පව්ලූෂා මගේ ආදරණීය යමහල යටපත් කරන ඉන්න හැඩයි !! වොල්ගාව ළඟ සාෂා තවම බලාගෙන ඉන්නවා.මට බොහොම මහන්සියි පාව්කා.අදට මෙතනින් නවතින්නම්. නුඹට ආයුබෝවන් පව්ලූෂා !!

~සාෂෙන්කා~




||සාෂෙන්කාගේ දිනපොතෙන් - 7 ||


"පාවෙල්, අපි යමුද හෙට නැටුම බලන්න ??"

"මට බෑ "

"ඇයි බෑ කියන්නේ ?? "

"මට ඕවා බලන්න වැඩි කැමැත්තක් නෑ "

"අනේ.....නැටුම් ලස්සනයි නේ පා.." මම කියල ඉවර කරන්නත් කලි නුඹ ආයෙමත් මැද්දට පැන්නා.

"ඇයි මට එන්න කියන්නේ ?? මීෂා එක්ක යන්නකෝ!" 

"හා" 

මම කිව්වෙ හරිම බිඳුණු හඬකින්. එක අතකට නුඹ නැටුම් බලන්න අකමැති වීම පුදුමයක් නෙවෙයි. ඒත් නැටුමත් සංගීතයත් අතර තියෙන්නෙ හරිම ලොකු බැඳීමක්. බැලලයිකාවක් වෙනුවෙන් පණ උනත් දෙන්න සුදානම් නුඹ නැටුමක් බලන්න යන්න තියා ඒ ගැන කතා කරන්නවත් කැමති නැති හැටි !! "සාෂා......නුඹ දුක් වෙන්න එපා.........පාව්කා එන්නෙ නැති වෙයි කියල මම නුඹට කලින්ම කිව්වනේ !! නුඹගෙ පණ්ඩිතකමට ආයෙම අහන්න ගිහින් රිද්දගත්තට මට දොස් කියන්න එපා ඔන්න" හිත මට කිව්වා. ඒත් දුකටත් වඩා මගේ හිත පිරිලා තිබුණේ තරහෙන් පාව්කා !! මම අකමැතිම රතු පාට ගෙඩි රසයි කිව්වේ නුඹට දුක හිතෙයි කියලා !! නුඹ කියන ලොකු ලොකු විකාර දේවල් අහන් හිටියෙත් එහෙම නොකලොත් නුඹට දුක  හිතෙයි කියලා. එත් මට පේන හැටියට නුඹට දුක දැනෙන්නේ නැති හැඩයි පව්ලූෂා ! අහිංසක මටම ඒ දුක් උහුලන්න වෙලා !! නුඹට දුක හිතෙනවට අකමැති මටම ඒ දුක දරාගන්න වෙලා. "මේ පටන්ගැන්ම විතරයි සාෂෙන්කා! තව ඉස්සරහට නුඹට තවත් දුක හිතෙනවා සත්තකයි !!" හිත මට කියාගෙන කියාගෙන ගියේ කිසිම අනුකම්පාවකින් තොරවයි. නිහඬතාව දරාගන්න බැරිම තැන මම ආයෙම හඬ අවදි කළා.

"බැලලයිකාව අතට ගත්තම නම් සිහියක් නෑ !"

මට ඉකි ගැසුණේ නුඹ නේන නිසා දුකට නෙවෙයි පාව්කා. මට ඉකි ගැසුණේ මට මම ගැනම ඇතිවූ අනුකම්පාවෙන්. මම ආයෙමත් කතා කරන්න පටන් ගත්තා.

"දැකලවත් නැති මාෂෙක්‌ගෙන් මෂූර්කාවකට එනවද අහනවා !! මේ පෙන්න ඉන්න සාෂා නැටුමක් බලන්න යන්න කතා කරාම බෑ කියනවා "

"මෂූර්කා නැටුමට හෙට - නුඹ එනවා ද 
බැලලයිකාව වයන්නම් මම තාලෙට 
මාෂා නුඹ හෙට එනවාද ??
මෂූර්කාව හෙටයි - නුඹ රඟනවා ද "

මම කියාගෙන කියාගෙන  ගියේ  කට ඇද කරගෙන හරිම තරහෙන් .
මම එහෙම කියනකොට නුඹ කට කොනෙන් හිනා උනා. 
"අපි වෙන දවසක යමු සාෂා" නුඹ එහෙමවත් කියයි කියල මම බලාපොරොත්තු උනා. ඒත් නුඹ ආයෙමත් අර කිසිම හැඟීමක් නැති මූණ හදාගෙන කල්පනා කරනවා.
"සාෂා, නුඹ විශ්වාස කරන්න අකමැති උනත් දැන් නම් පාව්කාට මොකක් නමුත් බොහොම ලොකු දෙයක් නුඹෙන් හංගන්න වෙලා බව මට සහතිකයි !! තවත් රිද්දගන්නේ නැතුව පාඩුවේ පැත්තකට වෙලා ඉන්න එකයි තියෙන්නේ !!" ආයෙමත් හිත කෑගහන්න ගත්තා. හිත එදා මට කිව්වේ ඇත්තමද පාව්කා ??? මම තවමත් කිසිම දෙයක් දන්නේ නෑ . නුඹේ කටින්ම නුඹ කැමති දවසක මට ඒ හැම දෙයක්ම කියන්න පාවෙල්. මම අහන් ඉන්න සුදානම්. ඒත් මට තව ගොඩක් කල් ඉතුරු වෙලා නැතිබව මතක තියාගන්න පාව්කා.  නුඹ එනකන් මම මග බලන් ඉන්නවා.


~සාෂෙන්කා~  



|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 6 ||


බැලලයිකාවත් නුඹත් අතර තිබුණේ හරි පුදුම බැඳීමක් පාව්කා. වෙලාවකට මට හිතුනෙම නුඹ කලින් ආත්මෙකදීත් මේ වගේම ලස්සනට බැලලයිකාව වයන්න ඇති කියලයි. අද මේ පිටුවෙ ලියැවෙන්නේ නුඹෙත් ,බැලලයිකාවෙත් කතාව පාවෙල්. 

එදා රෑ අපි ඔක්කොම මීෂගේ ගෙදර මිදුලේ අවුලලා තිබුණ ගිනි මැලයක් වටේ වාඩිවෙලයි හිටියේ . නුඹ නිල්  පාට කොටු වැටිච්ච අත් දිග කමිසයක් තමයි ඇඳගෙන හිටියෙ. මීෂා එයාගේ ප්‍රියතම කහ පාට කමිසයත්, ලුද්මිලා ලස්සනම ලස්සන දම් පාට බෝල බෝල ගවුමකුත් ඇඳගෙන ඇවිත් හිටියා. ඇයි එයාලා ගැන විතරක් විස්තර !!! ඔව්, මේ කියන්න යන්නේ සාෂෙන්කා ගැන තමයි !! සාෂාත් එයා ආසම ඇඳුම වෙච්ච ලස්සන නිල් පාට මල් ගවුමකින් හැඩවෙලා ඇවිත් හිටියා. අපි හැමෝම ගිනි මැලය වටේට වාඩිවෙලා විස්තර කතා කරමින් හිටියා මට මතකයි. නිකොලායි සීයගේ හිනා යන කතන්දරත්, රේසා ඉවානොව්නා ගේ පින්තූර කතාත් අහන් හිටිය අපිට වෙලාව යනවා දැනුනෙත් නෑ . 

නෑ !! එහෙම හිතිලා තියෙන්නෙ මටයි - මීෂටයි - ලුද්මිලාටයි විතරමද කොහෙද !! පාව්කා හිටි හැටියේම අතුරුදහන් වෙලා. මේ වැඩේ මට අරුමයක් නොවුනාට එතන හිටපු අනිත් හැමෝටම ලොකු ප්‍රශ්නයක් උනා. ඒ කොහොම වෙතත් ටික වෙලාවක් යද්දී අපි ආයෙම අර කතන්දර ලෝක වල. රේසා ඉවානොව්නා අපිට කියා දුන්නු පින්තූර කතන්දර වලින් මම වැඩිපුරම කැමති උනේ "මේක හරිම පුදුමෙ තමයි - මේස් දෙකම පැන පැන යයි" කතාවටයි. පාව්කා නම් මේ එක කතාවකටවත් කැමති නෑ කියල මම දැනන් හිටියා. මොකද එයාට තියෙන්නෙ මට වගේ ගිරා මොලයක් නෙවෙයි නේ !! 

ටික වෙලාවකින් නුඹ ආයෙමත් ඇවිත් අපි එක්ක වාඩිවුනා. නුඹ ගියේ හිස් අතින් උනාට ආවේ හිස් අතින් නොවන බව දැක්කාම සාෂා ගේ හිත කියන්න බැරි තරම් සතුටකින් පිරිලා ගියා පාවෙල්. නුඹ රුසියාවේ හොඳම වයන්නා නොවෙන්න ඇති, එත් සාෂා ප්‍රිය කළේ නුඹේ තාල වලටමයි. තව මොහොතකින් නුඹ වයන බව මට සහතිකයි !! අනේ පාව්කා නුඹ නම් !!!!! 

"මෂූර්කා නැටුමට හෙට - නුඹ එනවා ද 
බැලලයිකාව වයන්නම් මම තාලෙට 
මාෂා නුඹ හෙට එනවාද ??
මෂූර්කාව හෙටයි - නුඹ රඟනවා ද "

නුඹ තාලෙට වයන්න පටන් ගත්තා.නිකොලායි සීයා හැමෝටම නිහඬ වෙන්න සන් කළා. අපි හැමෝම හෙමිහිට සින්දුව මුමුණනවා. නුඹ නොනවත්වා වයනවා. හැමෝම කතාවක් බහක් නෑ ......වශී වෙලා වගේ අහන් ඉන්නවා. වයන වෙලාවට නුඹ දෑස් වහගන්නවා පාව්කා !! එහෙමත් නැත්නම් කිසි කෙනෙක් නැති දිහාවක් බලාගන්නවා. එහෙම වෙලාවක අහම්බෙන් හරි තව ඇස්  දෙකක් මුණගැහුනොත් නුඹ එක ක්ෂණයකින් අහක බලා ගන්න බව මම දැනගත්තෙ මම නුඹේ ඇස් එකම එක දවසක් දැක්ක නිසා. ඒවා තරු  කැට දෙකක් වගේ දිලිහෙමින් තිබුණේ. ඇත්තමයි පාවෙල් , නුඹේ ඇස් වල මොනවදෝ පිරිලා තිබුණා. හරියට නිකන් ඒවා කතා කරනවා වගේ. නුඹේ ඇඟිලි බැලලයිකාව දිගේ උඩ පහල යන්නේ කිසිම ආයාසයකින් තොරවයි. එක බලන් ඉන්න ආස හිතෙනවා. ඇරත් , නුඹේ ඇඟිලි හරි දිගයි නේ පාව්කා !!! නුඹ එදා රෑ පැයක් විතරම එක දිගට වාදනය කරා. වාදනය අවසන් කලේත් පටන් ගත්තෙත් එකම ගීතයකින්. එහෙම කලේ ඇයි කියල ඇහුවාම නුඹ හිනා උනා විතරයි. හේතුවක් කිව්වේ නෑ . 

අද මට ඒ සිංදුවම නම් වෙනස් කරලා කියන්න වෙලා පාව්කා.

"මෂූර්කා නැටුමට හෙට - නුඹ එනවා ද 
බැලලයිකාව වයන්නම් මම තාලෙට 
පව්ලූෂා නුඹ හෙට එනවාද ??
මෂූර්කාව හෙටයි - නුඹ රඟනවා ද "


~සාෂෙන්කා~



|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 5 ||


නොකඩවා පස්වෙනි දවසටත් ලියන්න මම සූදානම්. ඉර එළිය බිංදුවක්වත් නොවැටුණ මතකයකට වඩා ඉර එලිය යන්තමින් හරි තැවරුණ මතකයක් ගැන ලියන්න කියල මගේ හිත මට බල කරන්න අරගෙන පාවෙල්. මොකක් හරි හේතුවකට මට ඉස්ඉස්සෙල්ලාම මතක් උනේ අපිට අවුරුදු දහයක් - දොළහක් විතර කාලේ රතු බැලුමක් නිසා මට බුම්මගන්න උන දවසක්. අපි ඉස්කෝලේ ඇරිලා වෙනද වගේම ගෙදර එමින් හිටියෙ. නුඹයි මමයි වගේම ලුද්මිලා සහ මීෂත් විවිධ දේ කතා කරමින් ඇවිදගෙන ආවා. ලුද්මිලා සහ මීෂා පල්ලිය ළඟින් අපිට සමුදුන්නා. සුපුරුදු පරිදි අපි ගමනේ. මගේ කටට කෝ විරාමයක් !! මම දිගටම කතාවේ !! 

ටිකක් දුර ඔහොම ඇවිදන් යනකොට නුඹ එකපාරට මට කියනවා "සාෂා, මෙතනටම වෙලා ඉන්න. කොහෙවත් යන්න එපා. මම ඉක්මනටම එනවා" . මම හා කියන්නත් කලින්ම පාවෙල් විදුලි වේගෙන් දුවගෙන ගියා. "මදැයි.....දැන් ඉතින් එයා ආයෙම එනකන් මම ඉන්න එපැයි මෙතෙන්ට වෙලා" මට එහෙම හිතුනා. තනියම කතා කර කර ඉන්න බැරි නිසා මම සිංදුවක් මුමුණන්න පටන් ගත්තා. "රතු පාට ලොකු බැලුමක - යනවා මම ලොකු සවාරියක" ඒ පද දෙකට වඩා කියන්න හම්බුනේ නෑ , පාව්කා ආයෙම ආවා !! 

"කොහෙද ගියේ ??" මම ඇහුවේ අහලකවත් තිබුණේ නැති තරහක් මූණට ඔබාගෙන.

"ආ......කන්නකෝ මෙයින් එකක්" 

"මේ මොනවද මේ ?? මම කවදාවත් දැකලා නෑ මේවා !!"

"කන්නකෝ.....මේවා රසයි"

පාව්කාගේ දෝත පිරෙන්න තිබුන රතු පාට පුංචි ගෙඩි වලින් එකක් අරන් මම කන්න පටන් ගත්තා. "මොන ජරා පළතුරක්ද මේ....කිසිම රසක් නෑ නේ" මම හිතුවා.එතකොටම හරි ලස්සන හිනාවක් එක්ක නුඹ මට කියනවා "මේවා හරි ෂෝක් නේද සාෂා?". නුඹේ ඇස් වල සතුට පිරිලා ඉතිරෙනවා. ඒ නිසාම අකමැත්ත යටපත් කරගෙන "හ්ම්.....හරි රසයි තමයි!!" කියල කියන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ.

"ආ මෙන්න....තව කන්න" නුඹ මට ආරධානා කළා !!!

"අපොයි....දැන් නම් නුඹේ ඔය ගිරා මොලෙන් වැඩක් ගන්න සාෂා !!!" හිත එක පාරටම කෑගහන්න ගත්තා. "ඔයා කන්න පාව්කා ......ඔයා ආසයි නේ !!! මම කන්න ගියොත් ඔය ටික දෙකට බෙදෙනවනේ !! එකක් විතරක් දෙන්නකෝ !!" එහෙම කියලා මම අර රතු පාට එක ගෙඩියක් අරන් කටේ ඔබාගත්තා. 

ටික දුරක් ඔහොම යද්දි මට ආයෙම අර සින්දුව මතක් උනා. "පාව්කා......මටත් ආසයි රතු පාට ලොකු බැලුමක නැගල ලෝකේ වටේ යන්න !! මීෂයි - ලුද්මිලයි - අපි ඔක්කොම එක්ක යමු !!" නුඹ එක පාරටම හයියෙන් හිනා වුණා. 

"නුඹට හිතෙන්නෙම ඕවා විතරද සාෂා !!" නුඹ ආයෙම හිනාවෙන්න පටන් ගත්තා. 

"පොඩි ළමයි ඕව හිතන්නේ නැතුව වෙන මොනවා හිතන්න ද ??" මමත් කියාගෙන ගියා. 

"නුඹ හරිම බොළඳ දැරිවියක් සාෂා !!!" නුඹ එහෙම කියලා මගේ මූණ දිහා බලාගෙන හිටියෙ ඊළඟට මම කරන්න යනදේ නුඹ දැනන් හිටිය නිසා. 

"හරි ඉතින් .....ඕකට මුණ රතු කරගෙන අඬන්න ඕන නෑ නේ !! මම පණ්ඩිත කතාවක් තමයි කීවේ !!" නුඹ කිව්වේ හරිම අහිංසක විදියට. එහෙම කියලා මගේ ගිරා කතා අහගෙන අපි දිගටම ඇවිදගෙන ගෙදර ගියා. 

පාව්කා කිව්වම තවමත් සාෂාගේ හිතේ මැවෙන්නේ අන්න ඒ මූණ !!!!  දැන් නුඹේ හිනාවක් බලන්නත් අර හේලිගේ වල්ගාතරුව පායනකන් බලන් ඉන්නවා වගේ මට බලන් ඉන්න වෙලා . තව වැඩි කාලයක් මට ඉතිරිවෙලා නෑ පාව්කා . යන්න කලින් වල්ගා තරුව ඉක්මනටම පායන්න කියලා සාෂා ප්‍රර්ථනා කරනවා. 

~සාෂෙන්කා~ 



|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 4 ||


ලියන්න ඕන මොනවද කියල මට හිතා ගන්න බැරුව ගිහින් කියල මට හිතෙනවා. ඒ තරමට දේවල් මගේ හිතේ පිරිලා පාව්කා . ඒ ඔක්කොම දේවල් අතරින් මට වඩාත්ම වැදගත් දේ තෝරගන්න අද වෙනදාටත් වඩා අමාරුයි. හ්ම්......දැන් මට හිතෙන්න අරන් නුඹට වගේම මටත් මොකද්දෝ මහා විපරියාසයක් වෙලා කියලා !!! හඃ ....ඒවා කොහෙද මාත් එක්ක ......."දයාබර හිත, නුඹට මම මේ හරි ආදරෙන් කියන්නේ, පැනල යන්න නම් හිතන්නවත් එපා. කළු අසරුවට පලාතකවත් එන්න දෙන්නේ නෑ කියල නුඹ මට පොරොන්දු වෙන්න ඕන "  කියල මම මටම කියාගත්තු වාර අනන්තයි !! මෙහෙම කියපු හැම වෙලාවකම මගේ මතකෙට ආවෙ නුඹ මට මුලින්ම ලොකු වෙනස්කමක් කරපු දවස පව්ලූෂා. 

එදා හොඳට අව්ව පායපු දවසක්. මම ලුද්මිලා එක්ක බෝනික්කෝ සෙල්ලම් කරලා ගෙදර යමින් හිටියෙ. පොප්ලර් ගස් පේළිය පහුවෙනවත් එක්කම මම දැක්කා නුඹ දුඹුරු පාට හම් බෑගයත් දාගෙන පොකුණ පැත්තේ ඉඳන් ඇවිදගෙන එනවා.

"පා.....ව්ව්ව්ව්ව්.......කා " මම දෑත් බොකුටු කරලා කට දෙපැත්තෙන් තියාගෙන කෑ ගැහුවා. 

මම ඒ කෑගහපු තාලෙට ගඟෙන් එහා තිබුණ නිකොලායි සීයගේ ගෙදරට උනත් ඇහෙනවා කියල මට සහතිකයි. එත් නුඹ ඇහුනේ නෑ වගේ දිගටම ඇවිදන් යන්න ගියා. "බීරි අලියෙක්" මම හිතුවා. "ආයෙ ඔය මෝඩයට කතා කරන්නේ නෑ මම " මම හිතින් නුඹට හොඳටෝම බනිමින් වේගෙන් පහලට දුවගෙන ආවා. දෙකකට ගොතපු මගෙ කොණ්ඩ කරල් දෙක උඩ පනිනවා මට දැනෙනවා. 

තරහ වැඩි කමට මම තවත් වේගෙන් පහලට දුවගෙන ඇවිත් නතර උනේ "යෝධයා" ළඟ. "යෝධයා" කියන්නෙ ඒ පළාතටම තිබුණු දැවැන්තම පොප්ලර් ගහ. නුඹට මතකද පාව්කා ?? ඉස්සර අපි හතර දෙනාම (මම , මීෂා , නුඹ සහ ලුද්මිලා ) අත් අල්ලාගෙන ගහ වටේට එකතුවෙලා යෝධයාව බදාගන්න හදනවා. එත් අපිට බෑ !! යෝධයා ඒ තරමට මහතයි !! 

තවත් දවසක් ඒ විදියට ගෙවිලා ගියා පාව්කා. මම නුඹ එක්ක තරහෙන් . නුඹට ඒ ගැන වගේ වගක් නෑ . ඊළඟ දවසෙ උදේ මම තනියමම ඉස්කෝලෙට යන්න පිටත් උනා. අඬල අඬල ලොකු ලොවි ගෙඩි දෙකක් තරම් රතු වෙලා තිබුන ඇස් දෙක පිහදමින් මම එක පාරක් පිටිපස්ස හැරිල බැලුවෙ නුඹ එනවද කියලයි පාවෙල්. වෙනදට පාව්කා එක්ක තොරතෝංචියක් නැතුව කියව කියව යන සාෂා අද තනියම !! මට ඒ දවස කවදාවත් අමතක වෙන්නෙ නෑ පාව්කා. නුඹ එදා ඉස්කෝලේ ආවෙත් නෑ !! "මගේ හිත ගලක් වගේ . මම අඬන්නේ නෑ ...ආයේ හොයන්න යන්නෙත් නෑ " මම මුමුණමින් හිටියා. ඒ නුඹේ හිත මායිමට කළු අසරුවා ආපු දවස පාව්කා !! මගේ ගිරා මොලේට ඒ ගැන තේරුනේ නෑ. සාෂා ට සමාවෙන්න පාව්කා !! මම නුඹ හොයාගෙන එනකොට හුඟාක් පරක්කු වැඩියි.

~සාෂෙන්කා~




|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 3 ||


"සාෂා, මේ ලෝකේ මොකක් වගේ කියලද ඔයාට හිතෙන්නේ ?" 

"මේ ලෝකෙ ? මට මොකුත් හිතෙන්නෙ නෑ පාවෙල් " 

මම හිනාව තද කරගෙන කිව්වා.  

"ඔය ගිරා මොලේට ඒවගේ දෙයක් වත් හිතෙනවනම් බැරිද ඉතින් !! "

 පාවෙල් බුම්මගෙන කිව්වා. 

ඒ නුඹ යමහලක් වෙන්න බොහොම ඉස්සර කතාවක් පාව්කා. හිටිහැටියෙම නුඹ බොහොම වෙනස් වෙන්න පටන් ගන්න හුඟක් ඉස්සර කාලෙක, හරියටම කිව්වොත් අපි පහල බාලාංශයේ ඉගෙන ගන්න කාලේ ඇතිවෙච්ච කතාබහක් ඒ . පොප්ලර් ගස් පේලිය පහුකරගෙන ගඟ පැත්තට ඉස්සරහට යනකොට හම්බෙන පොකුණට ගල් කැට විසි කරන ගමන් අපි කොච්චර නම් ලස්සන දේ කතා කරාද ?? ඒ එකක් වත් නුඹට මතක තියනවාද කියන එකත් මට දැන් සැකයි පාවෙල්. නුඹ ඒ තරමටම වෙනස් වෙලා. ඉස්සර නම් නුඹට පොකුණට නොයා එකම එක දවසක්වත් ඉන්න බෑ  නේද ?? 


කළු ඇඳගත්තු අසරුවෙක් නුඹේ හිත අස්සෙන් රිංගලා පාවෙල් !! නුඹේ හිත හැමදාටම කළුවර වෙලා. පුංචි කාලේ කියවපු පොතේ විදියටම සුදු අසරුවත් , රතු අසරුවත් යන්න කලින්ම නුඹේ හිත අස්සට කළු අසරුවා රිංගලා !!! අනේ පාවෙල් !!! මට බොහොම දුකයි , ඒත් දැන් සුදු අසරුවට යන්න බැරි තරමටම නුඹේ හිත කළුවර වෙලා කියල මට සහතිකයි . 


වේදනාව ගැන කතා කරන්න තරම්, අපි හැමෝම එඩිතර වෙන්නෙ නෑ පාව්කා .හැමදාම හිතේ හංගගෙන දුක් විඳිනවා. කියාගන්න දහසකුත් එකක් දේ හිතේ පුරවගෙන මුනිවත රකිනවා. අන්තිමට ඒ හැමදෙයක්ම කවද හරි දවසක අපිත් එක්කම පොලවට පස් වෙලා යනවා.මතකයෙන් නිදහස් වෙන්න බැරි උනත්,තිත්ත ඇත්තෙන් ගැලවෙන්න බැරි උනත්,සමහර පුංචි දේවල් වලින් අපි හිතනවාට වඩා දේවල් වෙනස් කරගන්න පුළුවන් පාවෙල් . සුදු අසරුවට එකම එක සැරයක් නුඹේ හිතට එන්න ඉඩ දෙන්න පාවෙල්. ඒ දවස එනකන් , සාෂා බලන් ඉන්නවා .



~සාෂෙන්කා~








|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 2 ||


වොල්ගාව නුඹට පෙනෙනවාද පාවෙල් ?? ඈ දැන් ඉස්සරටත් වඩා හැඩවෙලා !! බලන් ඉන්න ආස හිතෙනවා. නුඹට ඒ දිහා බලන්නවත් උවමනාවක් නැති හැටි !! නුඹ හරිම වෙනස් වෙලා පාවෙල්. ඉස්සර නම් පුංචි පිහාටුවක් පාවෙලා ආවත්  නුඹට ඒක හරි ලොකු දෙයක්. එත් දැන් ??? වටපිටේ බලන්න කොච්චර නම් ලස්සන දේවල් තියනවද පාව්කා !! එත් නුඹ ......අහස පොලව ගැටගහන්න තරම් බර කල්පනාවක. 

ඇසිපිය ගහන්නෙ නැතිනම් , ඇත්තමයි , මම හිතාවි නුඹ මැරිල ගිහින් කියල !!! නුඹ මට ඇහුන්කන් දෙන්නෙත් නැද්ද පාවෙල් ??? ඔව් !! මම ගිරවියක් වගේ කියවනවා තමයි , ඒ කියවන තරමට නුඹට ඒ හැම දෙයක්ම අහන් ඉන්නත් බැරුව ඇති. අහන් හිටියත් නුඹට මතක තියන් ඉන්න බෑ කියල මගේ මේ ගිරා මොලේට තේරෙනවා පාව්කා. එත් නුඹ ඔහොම දුවනවා බලන් ඉන්න එක මට කියන්න බැරි තරම් දුකක්. නුඹ දුවලා හති වැටෙද්දී, මම හති වැටෙන්නේ නුඹට දුවන්න එපා කියලා කෑ ගහල. අකමැත්තෙන් උනත් මට මෙතනින් නවතින්න වෙනවා පාවෙල්. මෙතනින් එහාට දුර මට තවත් දුවන්න බෑ . යන්න කලින් එකම එක සැරයක් හරි වොල්ගාව දිහා බලල යන්න. නුඹ යම හලක් වෙලා දවල අළු කරල දාපු ගොඩක් දේවල් වොල්ගාව එක්ක තාම ඇති. නුඹට ආයුබෝවන් !!

~සාෂෙන්කා~


|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 1 ||


නුඹත් හරියට යමහලක් වගේමයි.  හිතන්නේවත් නැති වෙලාව පුපුරලා ගිහින් , මම පරිස්සමට බලාගත්තු හැමදෙයක්ම අළු කරලා දානවා පාවෙල් !! දන්නවද ?? ඊටත් වඩා මට පුදුම හිතෙන්නේ ඇයි කියලා ?? ඒ ඉතුරු වෙච්ච අළු වලින්ම ආයෙම ඉපදිලා කලින්ටත් වඩා ආදරෙන් නුඹ දිහාම මට බලන් ඉන්න පුළුවන් . ඔව් !! මම ෆීනික්ස් කිරිල්ලක් තමයි !! සීත කාලෙට හිම වලින් ඔළුව හිට වහගෙන නිදන් ඉන්න ගිනි කන්දක් වගේ කිසිම හැල හොල්මනක් නැතුව නුඹ  කල්පනා කරන්නේ මොනවද කියල හිතාගන්න එක මට දැන් අරුමයක් නෙවෙයි පාවෙල් !! මම දන්නවා.......නුඹ කල්පනා කරන්නේ මොනවද කියල මම දන්නවා !! ඇත්තෙන් පලා යන්න අමාරුයි පාවෙල්. අකමැත්තෙන් වුනත් දකින්න වෙන්නෙම ඇත්ත තමයි. නුඹ පස්සෙන්ම එලවාගෙන එන කේන්තිය නැති වෙන දවසක් ඒවි. එදාට මට නුඹව මගේ ආදරණිය යමහල වගේ නොපෙනේවි. ඒත් හැමෝම නුඹට එදාට ආදරය කරාවි.

~සාෂෙන්කා~