Monday, September 19, 2016

|| පරණ පොත් ||


මම කුඩා දැරියක්මි. තරමක් කොටට කැපූ ඉත්තෑකූරු කොණ්ඩයෙන් මදක් නළලට වැටෙයි. රතුපාට රැළි ගවුමක් ඇඟලාගෙන සාලයේ බිම වාඩිවී සුපුරුදු පරිදි මම කතන්දර පොත් කියවමි. සාලයේ බිම එලූ පැදුරක වාඩිවී පොත් කියවීම මට ප්‍රීතියකි. ඇඳෙහි දිගාවී පොත් කියවීම මට ඊටත් වඩා ප්‍රීතියකි.

"ළමයෝ, ඔය ඇස් දෙක වපර වෙයි !! පුටුවක වාඩි වෙලා ඕක කියවන්න" ඒ අම්මාගේ කට හඬයි.

"අනේ අම්මේ !!"

මගේ කෙඳිරිය අම්මාට වදයක් බව මම දනිමි. ඒත් ඈ ඇගේ තීරණය වෙනස් නොකරන්නීය. අවසානයේ මම සාලයේ සෝපාවේ දිගාවී පොත කියවමි. අම්මාට එයද මදි වී ඇය නැවතත් හඬ අවදි කරන්නේ මා කෙසේ හෝ පුටුවක වාඩි කරවීමට බව මම දනිමි. එහෙත් හැමදාමත් මා පොත කියවා අවසන් කරන්නේ මා කැමති පරිදිය. විටින් විට පුටුවක වාඩිවෙන නමුත් දිගටම ඒ ඉරියව්වේ රැඳීම මට අපහසුවකි. මම නැවතත් ඇඳෙහි දිගාවෙමි. පොත කියවා නිම කරන තෙක් මට විවේකයක් නොවන්නේ නම්, එය මා කැමතිම වර්ගයේ පොතක් බව අම්මා දනී. එවන් දවසක නම් මට බාධා කිරීම් සිදුනොවන තරම්ය. කාලය ගෙවී ගියේ පුදුමාකාර වේගයකින් බව මට සිතෙයි. රතු පාට රැළි ගවුමක් වෙනුවට දැන් ඇඟලා ගන්නේ ටී ෂර්ට් එකක් සහ දනිස තෙක් කලිසමකි.

"කාලය මැවූ වෙනසක අරුමේ !!"

දැන් කියවන්නේ සුරංගනා කතා හෝ වැඩබැරි දාසගේ කතා නොව, ඊට වඩා ගැඹුරු තේරුම් ඇති පත පොතය. කුඩා දැරියක ලෙස මමා වඩාත් ප්‍රිය කළේ "සමන්මලී", "හත්පණ","පාළුව","උඩ ගිය බබා","ලස්ස්සන වසිලීස්සා","මැටි කෝප්පය", එන්. රැඩ්ලොව්ගේ "පින්තූර කතා" වැනි පොත් කියවීමටයි. මට සෑම උපන්දිනයකටම පාහේ ලැබුණේ පොත්ය. කවුරුන් හෝ මගෙන් ඇසුවද මා කීවේ මට "පොත්" ඕනෑ බවයි. මම එතරම් පොත් වලට කෑදර දරුවෙකු වීමි.
මට මුලින්ම "මඩොල්දූව" පොත ලැබෙන්නේ 2001.09.24 දිනය. එදා එක හුස්මට මඩොල්දූව කියවූ මට එතැන් පටන් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොත් කියවීමට දැඩි ආශාවක් ඉපදුණි. ඒ උපන් ආශාව නිසා "අපේ ගම" කෘතිය කියැවීමි.තරමක් වයසකදී "යුගාන්තය", "ගම්පෙරළිය", "කලියුගය", "බවතරණය", "කරුවල ගෙදර", "ලීලා" ද කියැවීමි. සමහර කතාවල තේරුමක් හිතාගැනීමට මට අපහසු වුන නමුත් මම තවදුරටත් කියැවීමේ නියැලුනා මිසක් නොනැවතීමි. එතෙකින්ද  නොනැවතී ටී.බී.ඉලංගරත්නයන්ගේ "හපනා","අඹ යහළුවෝ","තිලක හා තිලකා", "සැඩපහර", "මල්සරාව", "ශිෂ්‍යත්වය" ඇතුළු තවත් පොත් ගොන්නක්ද කියවා ඉවර කලෙමි.

දැන් මම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්මි. වෙනදා මෙන් බොහෝ පොත් කියැවීමට මට වෙලාවක් නොලැබෙන නමුත් විටින් විට දුම්රියේ ගමන් කරන අතරතුර පොත් කියවීමට මම වෙලාව සොයා ගනිමි. වෙනදා මෙන් නැතත් මම ඉඩ ලද විගස අලුත් පොතක් සොයාගෙන කියවමි. දැන් පොත් මිලට ගන්නේ කලාතුරකින් නමුත් මගේ පොත් රාක්කය පිරී ගොසින්ය. වැඩ බැරිදාසලා , ඩෙනිස්ලා මෙන්ම නන්දා - පියල් , අරවින්ද , නිමල් , ජින්නා , උපාලි ගිනිවැල්ලේ මෙන්ම පාවෙල් , සාෂෙන්කා , තෝන්යා ද ජිවත් වෙන්නේ එකම පොත් රාක්කයකය. ඒ පොත් රාක්කයේ මුළු ලෝකයම ජීවත් වන්නාක් මෙනි.

"අම්මේ"

"ඇයි ??"

"අර පොත් රාක්කෙ...."

"ඔව් ඉතින්, මොකද ඒකට වෙලා තියෙන්නේ ?"

"ඒකෙ දැන් ඉඩ මදියි අම්මේ. පොත් තියල තියෙන විදියට පොත් ගන්න ගියාම හරි කරදරෙයි"

"මේ හදිස්සියේ පොත් රාක්කයක් ගේන්න බෑනේ දරුවෝ. පරණ පොත් ටික ඇතුලට දාල අලුත් පොත් ටික තියන්න"

"අනේ අම්මේ"

මගේ හදවත කඩාගෙන වැටුනාක් මෙන්ය. මම අලුත් පොත් වලට වඩා පරණ පොත් වලට ආශා කලෙමි. මහ පෙට්ටියේ බැහැගෙන මාතර ගෙදරදී ද මම කළේ කාවෙක් මෙන් පරණ පොත් සොයාගෙන ඒවා ගෙදර ගෙනවිත් නැවත සැකසීමයි. අම්මා පරණ පොත් යනුවෙන් අදහස් කළේ ඒවාද නැතහොත් මම කුඩා දැරියක් කාලයේ ආශාවෙන් කියැවූ පොත් ද යන්න මම නොදනිමි.

"පරණ පොත් කිව්වේ අර මම පොඩි කාලේ කියවපු ඒවද ??" දැඩි නිහඬතාවයකින් පසු මම ඇසීමි.

"ඔව් , දෝණි ආයේ ඒවා කියවන්නේ නෑ නේ ?"

"අනේ අම්මේ මම ඒවාට ආසයි නේ. ඒවා ඔහොම තිබුණාවේ. ඒවා මට පේන්න හරි තියෙන්න ඕන" මගේ දෑස් කඳුලින් බරවීම මට මෙන්ම අම්මාටද පුදුමයක් බව මට තේරුම් ගැනීමට ගතවුනේ ඉතා කෙටි කාලයක්. බාගවිට මම එතරම්ම පරණ පොත් වලට් ඇලුම් කළා යැයි ඈ නොසිතන්න ඇති.

"එහෙනම් කැමැත්තක් කරන්න"

මම පරණ පොත් වලට මෙතරම්ම ආදරේ මන්දැයි මම නොදනිමි. පොත් නම් මට හැම පොතම එක වගේ වටිනා බව මම කලින් සිතා සිටියෙමි. එහෙත් දැන් ඇතිවී තිබෙන්නේ හාත්පසින්ම වෙනස් තත්වයකි. අලුත් පොත් වෙනුවෙන් පරණ පොත් බිලි දෙන්නට මගේ හිත ඉඩ නොදෙන හැටි !! මම පරණ පොත් සමග පුදුමාකාර ආදරයකින් බැඳී සිටිමි. පරණ පොත් දැකීමෙන් මට එකී කතා මතක් වෙන බවත් ඒ බොහෝ ඒවා මට කට පාඩම් බවත් මම දනිමි. පරණ පොත් අලුත් පොත් වලට වඩා අගෙයි මට !! ජිවිතේ සොඳුරුතම මතකයන් ඇලී තිබෙන්නේ ඒ පොත් සමග බව මම තදින්ම විශ්වාස කරමි. මට අකුරු කියවීමට බැරි කාලයේ අම්මාත් තාත්තාත් මට ඒ පොත් කියා දුන්නේ අපමණ ආදරයකින් බව මට මතකයි. ඒ ආදරය තවමත් ඒ පොත් සමගම සුරක්ෂිතව තිබෙන බව මට හිතීම අරුමයක් නොවෙයි. ඒ නිසාම මම ඒ පොත් වලට බොහොම ආදරෙයි.

ඊයේ පෙරේදා හඳුනාගත් "බබා හේනයාටත්" , "අපූ" ටත් මගේ පොත් රාක්කයේ ඉඩක් නැත. මට වැඩබැරි දාස හෝ උඩගිය බබා එළවා ගන්නට හිතක් නැතිය. උපාලි ගිනිවැල්ලේ ද, ජින්නාද  එසේමය. ඔවුන් කුඩා මගේ ලෝකයේ වීරයින්ය. එනිසා අලුත් ජීවිත වලට අලුත් ලෝකයක් ගොඩ නැගුනාවේ. පරණ ලෝකයේ මම ඩෙනිස්ලාත් , කිරිහාමිලාත් ,පව්ලූෂාලාත් සමග සතුටින් ජිවත් වෙමි. හැමදාමත් පරණ පොත් මට අලුත් පොත් වලට වඩා අගෙයි !! ඒවායේ සුවඳ විශේෂයි. ඒවායින් හමන්නේ ප්‍රීතිමත් අතීත සුවඳයි.

~නවීනා~

 

 

2 comments:

  1. අතීතය ප්‍රීතිමත් විය යුතුමයි නේ ද?

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම :-) මොකද්දෝ හේතුවකට මගේ හිත හැමතිස්සෙම ආස කරන්නේ පොඩි දරුවෙක් කාලේ මම කරපු කියපු දේවල් මතක් කරන්න. විසිතුරු වැඩ වෙනුවට බොහොම සරල දේවල් වලින් සතුටු උන ඒ කාලෙ හැමදාමත් මට ලියන්න ගොඩක් දේවල් මතක් කරලා දෙනවා. ඒ හැමදේම අතරේ නිදාගත්තු මතක අවදි කරන්න මට තියන හොඳම ක්‍රමය මගේ පොත් රාක්කය !!! මම පොඩිම කාලේ ඉඳන් කියවපු හැම පොතක්ම වගේ ඒ පොත් රාක්කේ පිළිවෙලට වාඩි වෙලා ඉන්නවා. දැන් අලුතෙන් ගන්න පොත් තියන්න ඒකෙ ඉඩ මදි. එයාලා ඉන්නේ මේසේ උඩ. අර රාක්කෙ ඉන්න හැමෝගෙන්ම එන්නේ අතීත සුවඳ. හැමදාම වගේ ඒක බොහොම ප්‍රීතිමත් සුවඳක්. ඒත් මම දන්නේ නෑ හැමෝම අතීත සුවඳ ප්‍රීතිමත් කියල හිතනවද නැද්ද කියලා ^_^

      Delete