Wednesday, July 6, 2016

|| තාන්යාට ලියමි 3 - (සාෂෙන්කා වැන්යුෂින්) ||


ආදරණිය තාන්යා,

මිටියාවතට සමුදීලා අදට දවස් පහක්. දැන් මම මිටියාවතෙන් බොහොම ඈතට ගිහින්. ඊයෙ දවසම මම ගත කළේ මගේ හිත තැන්පත් කරගන්නයි. මට නුපුරුදු වටපිටාවකට හැඩගැහෙන්න වෙලා. මොකද්දෝ අවිවේකි මෙන්ම නොසන්සුන් බවක් මාව හිරකරන් කියලයි මට දැනුනේ. මම ආදරය කරපු - මට සුපුරුදු හැම දේකින්ම බලෙන්ම සමු අරගෙන බොහොම දුර ගමනක් යන්න පිටත් වීම මෙතරම්ම  වේදනාකාරී වීම මම බලාපොරොත්තු නූන දෙයක් නොවෙයි. ඒත්  තාන්යා........මට තේරෙන්නේ නෑ........මට දැනෙන දේ ලියාගන්න මට බෑ. ඊයේ දවසේම විටින් විට මම බොහොම උත්සාහ කළා නුඹට ලියන්නට. ඒත් මම මටම අවනත නොවීම නිසා සුදු කොලය අද වෙනකන්ම හිස්ව තිබුණා.

නුඹේ කීම සිහිවෙලා දැන් පැය කීපයකට කලින් මම නැව් තට්ටුවට ගොඩවුනා තාන්යා. නුඹේ ලියමන අතේ තියාගෙන මම හෙමිහිට වට පිට බැලුවා. වටේටම ඉමක් නොපෙනෙන මහ මූද. අහස මගේ දිහා බලන් ඉන්නවා කියලයි මට හිතුනේ. පුළුන් කැටි වගේ වළාකුළු දකිනකොට මට මතක් උනේ මම බොහොම කුඩා දරුවෙක් කාලේ අහසේ තියන වලාකුළු වල හැඩේට ගැලපෙන්න නම් දාපු හැටි !! මගේ මුහුණේ මම නොදැනුවත්වම පුංචි හිනාවක් ඇඳිලා තාන්යා !! නැව් තට්ටුවේ හිටි අනිත් දෙදෙනා පෙරළා හිනා නොවෙන්නට මට මගේ හිනාව ගැන නොතේරෙන්නත් ඉඩ තිබුණා. බොහොම කාලෙකට පස්සේ මම හිනාවුණා තාන්යා !!

අහසත් මහ මූදත් යන දෙකම හරිම ලස්සන නිල් පාටකින් හැඩවෙලා. වඩාත් ලස්සන මුහුදේ නිල් පාටද එහෙමත් නැතිනම් අහසේ නිල් පාටද කියලා හිතාගන්න මට බෑ. ඒ තරමට ඒ පාට දෙකම ලස්සනයි. සාෂෙන්කා කවදත් වඩාත්ම ආස කළේ නිල් පාටටයි. ඒ නිසා මට මූදෙන් ඇස් අහකට ගන්න බැරුව ගියා. මම කොපමණ වෙලා ඒ දිහා බලන් හිටියාද කියන්න මම දන්නේ නෑ තාන්යා. ඒත් එක පාරටම විදුලියක් වගේ වේගෙන් මගේ හිත හරහා යමක් දුවගෙන ගියා. "යමක්" කියල කිව්වට ඒ මොකද්ද කියල හිතාගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ . පාව්කාගේ නිල් කොටු කමිසය !! අනේ තාන්යා !! මිටියාවත බොහොම ඈතයි , පාව්කා ඊටත් වඩා බොහොම ඈතයි !! මගේ හිත තවමත් මිටියාවතටම යන්න හදනවා. ඊයේ දවස තිස්සෙම මට දැනුන නොසන්සුන් කම මේකයි එහෙනම් !!

"අපොයි සාෂෙන්කා !! නුඹ නැව් තට්ටුවට ගොඩ වෙලා කරගත්තු හරියක් !! මම හිතුවාටත් වඩා නුඹ බොහොම දුර්වලයි. මම දන්නවා .....මම නුඹට බොහොම වද දෙනවා. ඒ නුඹ එක්ක අමනාපයෙන් නොවෙයි. නුඹේ හදවත ඉස්සර උනාම නුඹට බොහොම රිදෙනවා සාෂෙන්කා !! නුඹ බුද්ධියට වඩා හැඟීම් වලට වහල් වෙලා. මට ඒකට නුඹට දොස් කියන්න බෑ. ඒ මනුස්ස ගතිය. ඒත් එකම එක පාරක් මට නුඹ මෙහෙයවන්න ඉඩ දෙන්න. නුඹට වැඩක් මිසක් අවැඩක් වෙන්නේ නෑ" බොහොම දවසක් මට කතා නොකළ මගේ කුළුපග මිත්‍රයා මට කිව්වා. ඒත් තාන්යා මම තවමත් හරියට හුළඟට හෙලවෙන ඉටිපන්දම් දැල්ලක් වගේ. ගතින් මම නැව් තට්ටුවේ හිටියත් හිතින් මම ජිවත් වෙන්නේ අතහැරලා ආපු පුංචි මිටියාවතේ.

"නුඹ දැන් නිදාගනින්. රෑට නැති නුවණ උදේට පහළ වෙනවා" මර්යූශ්කා අන්ද්රේ දුනුවායාට කිව්වේ එහෙමයි. ඒත් ඒ සුරංගනා කතා පොතක තාන්යා. මට තව රෑ සියයක් එළි උනත් පුංචි මිටියාවතත් පාව්කාත් හිතේ ඈත මුල්ලකට තල්ලු කරලා දාන්න බැරිවේවි කියලා මට සැකයි තාන්යා. ඉර එළිය හොඳට තිබුණත් මේ හුළං පාරට මට තරමක සීතලක් දැනෙනවා. මම ගයන්න පටන් ගත්තා. බොහොම සෙමෙන් මම ගැයුවා. ෆීනික්ස් හදවත තරමක් සුවපත් වෙනතෙක්ම මම ගැයුවා තාන්යා. පාව්කා බැලලයිකාව වයනවා හිතින් මවාගෙන මම ගයන්න පටන් ගත්තා.

"නිම්තෙර තව දුරැයි දැන
කිමද තවමත් මෙතැනම
දන්නවා සමුදෙන්න වන වග
ඔබට මට නොපමාව 
දැන දැනත් යා යුතුම වග
ඇයිද මේ තුරුල්ලෙම
දුක තවත් වැඩි නොවෙද
මෙය නොවේ ඔබේ නැවතුම
යන්න දැන්වත් අතැර
අඳුර රජයන්න පෙර
තවත් නෑ අමනාප
ආයේ මෙහි නාවාට........"

ඒ තාලය බොහොම ශෝකී තාලයක් තාන්යා. මගේ තනිය මකන්න වගේ  උණුසුම් කඳුළු බින්දු එක දිගටම කම්මුල් දිගේ පහලට රූටනවා මට දැනුනා. එත් මම දිගටම ගැයුවා. නුඹ කිව්වා වගේ මූදු හුළං වලට මගේ ඇස් වල තෙතමනය වියළන්න දී මම දිගටම ගැයුවා. නුඹේ ලියමන අතේ ගුලි කරගෙන මම දවසම නැව් තට්ටුවට වෙලා ඈත බලාන හිටියා. අවසානයේ මම නුඹට ලියන්න ඕන දේ හොයාගත්තා. අද දවසත් තවත් එක දවසක් විතරයි තාන්යා. මට තව යන්න දුර බොහොමයි. හැම දේම වෙන්නේ හේතුවක් ඇතුව බව

මට දැන් තේරෙනවා. අරමුණක් නැති ජීවිතයකින් පලක් නෑ තාන්යා. මගේ අරමුණ මම විසින්ම සොයාගත යුතුව තිබෙනවා. පහු ගිය දේට ඇලී ඉන්නකන් හැමදාම මට එක තැන ඉන්න වෙනවා කියලා නුඹ පුන පුනා ලියනවා නේද තාන්යා ? අද මට ඒ දේ හොඳටම දැනුනා !! ගතින් මහ මූද මැද හිටියත්  හිතින් තවමත් මම මිටියාවතේ !! මා වෙනස් කල හැක්කේ මටම පමණක් බව තේරුම් ගන්නට උදව් කලාට නුඹට බොහොම ස්තුතියි තාන්යා. අදට නවතින්නම්. නැවත ලියන තුරු ,

ආදරෙන්,


~සාෂා~



No comments:

Post a Comment