Wednesday, June 22, 2016

|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 4 ||


ලියන්න ඕන මොනවද කියල මට හිතා ගන්න බැරුව ගිහින් කියල මට හිතෙනවා. ඒ තරමට දේවල් මගේ හිතේ පිරිලා පාව්කා . ඒ ඔක්කොම දේවල් අතරින් මට වඩාත්ම වැදගත් දේ තෝරගන්න අද වෙනදාටත් වඩා අමාරුයි. හ්ම්......දැන් මට හිතෙන්න අරන් නුඹට වගේම මටත් මොකද්දෝ මහා විපරියාසයක් වෙලා කියලා !!! හඃ ....ඒවා කොහෙද මාත් එක්ක ......."දයාබර හිත, නුඹට මම මේ හරි ආදරෙන් කියන්නේ, පැනල යන්න නම් හිතන්නවත් එපා. කළු අසරුවට පලාතකවත් එන්න දෙන්නේ නෑ කියල නුඹ මට පොරොන්දු වෙන්න ඕන "  කියල මම මටම කියාගත්තු වාර අනන්තයි !! මෙහෙම කියපු හැම වෙලාවකම මගේ මතකෙට ආවෙ නුඹ මට මුලින්ම ලොකු වෙනස්කමක් කරපු දවස පව්ලූෂා. 

එදා හොඳට අව්ව පායපු දවසක්. මම ලුද්මිලා එක්ක බෝනික්කෝ සෙල්ලම් කරලා ගෙදර යමින් හිටියෙ. පොප්ලර් ගස් පේළිය පහුවෙනවත් එක්කම මම දැක්කා නුඹ දුඹුරු පාට හම් බෑගයත් දාගෙන පොකුණ පැත්තේ ඉඳන් ඇවිදගෙන එනවා.

"පා.....ව්ව්ව්ව්ව්.......කා " මම දෑත් බොකුටු කරලා කට දෙපැත්තෙන් තියාගෙන කෑ ගැහුවා. 

මම ඒ කෑගහපු තාලෙට ගඟෙන් එහා තිබුණ නිකොලායි සීයගේ ගෙදරට උනත් ඇහෙනවා කියල මට සහතිකයි. එත් නුඹ ඇහුනේ නෑ වගේ දිගටම ඇවිදන් යන්න ගියා. "බීරි අලියෙක්" මම හිතුවා. "ආයෙ ඔය මෝඩයට කතා කරන්නේ නෑ මම " මම හිතින් නුඹට හොඳටෝම බනිමින් වේගෙන් පහලට දුවගෙන ආවා. දෙකකට ගොතපු මගෙ කොණ්ඩ කරල් දෙක උඩ පනිනවා මට දැනෙනවා. 

තරහ වැඩි කමට මම තවත් වේගෙන් පහලට දුවගෙන ඇවිත් නතර උනේ "යෝධයා" ළඟ. "යෝධයා" කියන්නෙ ඒ පළාතටම තිබුණු දැවැන්තම පොප්ලර් ගහ. නුඹට මතකද පාව්කා ?? ඉස්සර අපි හතර දෙනාම (මම , මීෂා , නුඹ සහ ලුද්මිලා ) අත් අල්ලාගෙන ගහ වටේට එකතුවෙලා යෝධයාව බදාගන්න හදනවා. එත් අපිට බෑ !! යෝධයා ඒ තරමට මහතයි !! 

තවත් දවසක් ඒ විදියට ගෙවිලා ගියා පාව්කා. මම නුඹ එක්ක තරහෙන් . නුඹට ඒ ගැන වගේ වගක් නෑ . ඊළඟ දවසෙ උදේ මම තනියමම ඉස්කෝලෙට යන්න පිටත් උනා. අඬල අඬල ලොකු ලොවි ගෙඩි දෙකක් තරම් රතු වෙලා තිබුන ඇස් දෙක පිහදමින් මම එක පාරක් පිටිපස්ස හැරිල බැලුවෙ නුඹ එනවද කියලයි පාවෙල්. වෙනදට පාව්කා එක්ක තොරතෝංචියක් නැතුව කියව කියව යන සාෂා අද තනියම !! මට ඒ දවස කවදාවත් අමතක වෙන්නෙ නෑ පාව්කා. නුඹ එදා ඉස්කෝලේ ආවෙත් නෑ !! "මගේ හිත ගලක් වගේ . මම අඬන්නේ නෑ ...ආයේ හොයන්න යන්නෙත් නෑ " මම මුමුණමින් හිටියා. ඒ නුඹේ හිත මායිමට කළු අසරුවා ආපු දවස පාව්කා !! මගේ ගිරා මොලේට ඒ ගැන තේරුනේ නෑ. සාෂා ට සමාවෙන්න පාව්කා !! මම නුඹ හොයාගෙන එනකොට හුඟාක් පරක්කු වැඩියි.

~සාෂෙන්කා~




4 comments:

  1. පාව්කාගේ හිතටත් කළු අසරුවා ඇතුළු වෙලා ... එන්න එන්නම කතාවේ අදහස තේරුම් ගැනීමට විශාල වෙනසක් දරන්න සිදු වෙන පාටයි ... අපි බලමු ඉදිරිය ...

    මේ රසය මේ විදියටම පවත්වා ගන්න ...

    ReplyDelete
    Replies
    1. සාෂෙන්කාගේ හිතේ තැන තැන එකතු වුන මතක ඇගේ දිනපොතේ සටහන් වෙන්නේ කාල රේඛාවේ තැනින් තැනින් වීම නිසා කතාව තේරුම් ගැනීමට අපහසු වෙනවා ඇති :-)

      බොහොම තුති ඔබේ අදහස් වලට !!

      Delete
    2. ඔව් මා මුලින් සිතුවේ පාවෙල් සහ පාව්කා යනු දෙදෙනෙක් කියායි...
      ඔබ කලින් අදහස් වලට දැක්වූ ප්‍රතිචාර වලිනුයි මට දැන් වැටහෙන්නේ චරිතය හරියාකාරව.. එසෙත් නැත්නම් මා තවමත් වැරදි වැටහීමකින් ඉන්නවා වත්ද... එසේනම් මා නිවැරදි කරන්න ...

      Delete
    3. පාව්කා හා පාවෙල් යනු පව්ලූශා ට යෙදෙන "සුරතල්" නම් දෙකකි (මම බොහෝ පොත් වල කියවා ඇත්තේ ඒ ආකාරයටයි ) සාෂා යනු සාෂෙන්කා හැඳින්වීමට යොදන කෙටි නමයි :)

      Delete