Thursday, June 30, 2016

|| සාෂෙන්කාගේ දිනපොතෙන් - 16 ||


අද දවස හරිම වෙනස් පාව්කා. උදේ ඉර පායලා තියනවා දකින්නවත් මගේ හිතේ කිසි කැමැත්තක් නෑ. මට මහා උදාසීන කමක් දැනෙනවා. මේ හැමදේටම හේතුව මම දන්නවා උනාට ඒක එහෙම නෙවෙයි කියලා මටම ඒත්තු ගන්නන්න මම උත්සාහ කරනවා. අදින් පස්සේ මොන දෙයක් වෙයිද කියන එක මමවත් දන්නේ නෑ. සාෂාට ඉතුරු වෙලා තියෙන අන්තිම දවස අදයි. අද ඈ ආපහු යන්න නැව් නගින්න ඕන. ඈට නවතින්න බොහොම ඕනෑකමක් තිබුනත් අද නම් ඈ යා යුතුමයි. ඈට මේ දිනපොතවත් අරන් යන්න අවසර නෑ පාවෙල්. අදින් පස්සෙ මේ දිනපොතේ ඉතුරු ඔක්කොම පිටු ටික හිස් පිටු වේවි. කවදා හරි දවසක සාෂෙන්කාට උත්තරයක් හොයාගන්න පුළුවන් කමක් තිබුනොත් විතරක් තව පිටු කිහිපයක් පිරවේවි. මට සමාවෙන්න පව්ලූෂා !!! දැනුවත්ව හෝ නොදැනුවත්ව පුංචිම පුංචි හරි වරදක් උනා නම් සාෂාට සමාවෙන්න !!

නුඹ බොහොම විශේෂයි පව්ලූෂා !! පුන පුනා ඒ දේ කියන්න ඕන නැති උනත්, අවසාන දිගහැරුමේ පුංචි හරි අඩුවක් තියන්න ඕන නෑ කියලයි මට හිතෙන්නේ. 


නුඹේ නිල් පාට කොටු වැටුණු කමිසයත්, බැලලයිකාවත්, බැලලයිකාව දිගේ කඩිසරව එහෙ මෙහෙ දුවන නුඹේ දිගු ඇඟිලිත්, නුඹේ හිනාවත් - මේ ඔක්කොම දේවල් හරිම ලස්සනට පාට කරලා තියන චිත්‍රයක් කිසිම කෙනෙකුට නොපෙනෙන්න මගේ හිතේ තියනවා. ඒ චිත්‍රය විතරක් මම අරන් යනවා පාව්කා !! ඒ මගේ ආදරණිය යමහල !! කොපමණ උත්සාහ කළත් ඒ සිතුවම තියලා මට ආපහු යන්න බෑ . නුඹට කල්පනා කරන්න හිතුනම තවමත් කොණ්ඩය කරකවනවාද පාව්කා ?? අහස පොලව ගැටගහන්න වගේ කල්පනා කරන වෙලාවට නුඹ තවමත් එහෙම කරනවා ඇති කියලා මට හිතෙනවා. මොන දේ අමතක කරත් බැලලයිකාව අමතක කරන්න එපා !! කවදාවත්ම එපා !! දැන් නම් මට හිතෙන්නේ නුඹව කළු අසරුවාගෙන් ගලවාගන්න පුළුවන් එකම දේ බැලලයිකාව කියලමයි. 

පොප්ලර් ගස් පේළියට වගේම පුංචි පොකුණටත් මට වගේම නුඹ නැති පාළුව හොඳින්ම දැනෙනවා ඇති පාව්කා. නුඹෙන් නාහා ගිලගත්තු ප්‍රශ්න තාමත් එහෙමමයි. ඒවාට උත්ර හොයන්න දැන් මම පරක්කු වැඩියි. කාලය බොහොම වේගයෙන් ගතවෙනවා පාව්කා. සාෂාට යන්න වෙලාව ඇවිත්. සමහරවිට මට නුඹව දකින්න ආයෙ කවදාවත්ම එන්න නොලැබේවි, එත් පව්ලූෂා නුඹ හැමදාමත් මගේ ආදරණිය යමහල බව අමතක කරන්න එපා. සාෂාගේ පන්හිඳට නිමිත්ත නුඹම වේවි. ඇගේ වැයුම් ඔබ ගැනම කියාවි. නුඹට හැකිනම් පමණක් ඈ පිටව යන්නට කලින් ඈ වඩාත්ම ආසා කළ වැයුම වයන්න පාව්කා !! එකම එක සැරයක් ඈ බොහොම ආසා කළ හිනාව දකින්නට ඈට ඉඩදෙන්න. සමුගන්නම් මම ,නුඹට ආයුබෝවන් පව්ලූෂා මිකායෙව් !!!

"මෂූර්කා නැටුමට හෙට - නුඹ එනවා ද
බැලලයිකාව වයන්නම් මම තාලෙට
මාෂා නුඹ හෙට එනවාද ??
මෂූර්කාව හෙටයි - නුඹ රඟනවා ද "


~සාෂෙන්කා වැන්යුෂින්~


-සමාප්තයි-



3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. දන්නෙම නැතුව ලැබුන ඉස්පාසුවේ එක දිගට කියවගෙන ගියා සාෂේන්කාගේ දින පොත...
    එතකොට මට හිතුනා මං පය ගහලා ඉන්න සමාජයේ මේ දින පොතේ කියවුන චරිත හැම එකක්ම පාහේ විවිධ අවස්ථා වල මටත් හමු වි ඇති බව.
    විවිධ අවස්ථා වල අඩු වැඩි වශයෙන් මේ චරිත වලට මාද ආරුඩ වි සිටි බවක්.ඒ නිසාම මොකක්දෝ හුරැපුරැදු බවක් දැනුනා.එ වගේම කියවන්නත් හිතුවට වඩා කාලය ගත වුනා.
    මොකද එකම තැන නැවතිලා ඉන්න මතකය බල කලා. රාමා (Madusanka Ramanayake) කිවුවා වගේ රුසියානු නම් නම් ටිකක් වද කලා.... ඇත්තයම හරිම ලස්සනයි නංගි

    ප:ලි: නංගි මං හිතනවා රුසියන් කාරයෝ ටික එලවලා අපේ පොළවට සමීප චරිත ටිකක් එකතු කරලා ලස්සන අලුත් දිග කථාවක් ලියන්න.. ඔයාට එක ලස්සනටම කරන්න පුළුවන්...
    මට විශ්වාසයි... එත් එක්ක මේ කථාවත් දිගටම ලියාගන යමු... තව තවත් මේ වගේ හිතවත් කථා එක්ක සිත් අහසේ සැරි සරමින් හගවන් ඉන්න හැගිම් එලියට ඇදලා ගන්න ෆීනික්ස් කිරිල්ලීට වසනාව ශක්තිය ලැබෙවා.අවසරයි!!!

    ReplyDelete
    Replies
    1. ලියන මටවත් තවම මේ ඔක්කොම එක දිගට කියවගෙන යන්න වෙලාවක් ලැබුනේ නෑ. නම් රුසියන් උනාට මේ ඔක්කොම චරිත මගේ වටේට ඉන්න අය ඇසුරු කරගෙන ගොඩ නැගුනු චරිත. මම හැමදාම දකින, මට ගනුදෙනු කරන්න උන චරිත තමයි පාවෙල් (පාව්කා නොහොත් පව්ලූෂා මිකායෙව්), මීෂා හා ලුද්මිලා කියන්නේ. බොහොම අමාරුවෙන් කාල රේඛාවේ තැනින් තැනට ගිහින් ඒ ඒ පුද්ගලයින්ට අයත් මතක තෝරාගෙන මේ කතාව මෙහෙම ලියන්න හේතුවෙන්නෙත් එක මොහොතක ඇතිවෙන "මම නොවටිනා - නොවැදගත් කෙනෙක්" යැයි ඇතිවන හැඟීමයි. සැකෙවින් කිව්වොත් මෙහි කතා රසය පවත්වා ගන්නට එකතු කල සංකේත හැරෙන්නට, අන් සියලු දේ සත්‍ය සිදුවීම් ඇසුරින් පණ පොවන ලද ඒවා වේ. රුසියානු සාහිත්‍යයට වඩාත් ඇළුම් කළ නිසා ඒ නම් හා පරිසරයට එබ්බවූ කතාව කොටස් 16 පුරාම දිවයන්නේ ද මම ගැවසෙන පරිසරය වටාමයි. රුසියානු පරිසරය ආදේශ කර ඇත්තේ මම වටපිටාවේ දකින දේටමය. මගේ වොල්ගාව මහවැලියයි. :-)

      රුසියන්කාරයෝ එලවන්න පුළුවනි !! ඒත් මේ මගේ පලවෙනි උත්සාහය. මේ පොලවට සමීප චරිත දාලා කතාවක් ලියාගෙන ගියොත් ඒක ගොඩක් සීනිබෝල නොවෙන්න ලියන්න මම වගබලාගන්න ඕන. මගේ අත්තටු තාම ඒ දේට හයිය මදි කියලයි මට හිතෙන්නේ.

      ඔබේ අදහස් වලට බොහොම ස්තුතියි !! බොහොම වෙලා අරගෙන ලියපු අදහස් මට බොහොම වටිනවා. සාෂා තාන්යාට දිගටම ලියනවා. පාව්කා දිනපොත යම් දවසක කියවාවි කියන බලාපොරොත්තුව උඩ ඉඳන් සාෂා ලියනවා. ෆීනික්ස් කිරිල්ලී තවත් බොහොම දේ ලියන්න මග බලන් :-) ^_^

      Delete